ඇප ලැබුණු කන්ජිපානි ඉන්දියාවට පනී

0
Kanjipani Imran - ඇප ලැබුණු කන්ජිපානි ඉන්දියාවට පනී

ශ්‍රී ලංකාවේ පාතාල නායක කන්ජිපානි ඉම්රාන් තමිල්නාඩුවේ රාමේශ්වරම් නගරයට ඇතුළු වී ඇති බවත් ඒ පිළිබඳ තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අවධානයෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශ දන්වා ඇතැයි “ද හින්දු” පුවත්පත වාර්තා කර ඇත.

කන්ජිපානි ඉම්රාන් ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන්ට ශ්‍රී ලංකා අධිකරණයෙන් ඇප ලබා දීමෙන් පසුව දෙසැම්බර් 25 වැනිදා ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයට ඇතුළු වී ඇති බවත් ඔහු සහ ඔහු සමඟ පැමිණි සගයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස තමිල්නාඩු දිස්ත්‍රික්කයේ වෙරළබඩ දිස්ත්‍රික්ක වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දන්වා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

ඉම්රාන් ශ්‍රී ලංකාවේ අපරාධ රාශියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින පුද්ගලයෙක් බව “ද හින්දු” පුවත්පත පෙන්වා දී ඇත.2019 වසරේ දී ඉම්රාන් ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන ලංකාවට ගෙන ආ බවත් පසුගිය දා ශ්‍රී ලංකා අධිකරණය මගින් රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් සහ රුපියල් 250000 ක මුදල් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර බවත් “ද හින්දු”පුවත්පත වාර්තා කර තිබේ.

කන්ජිපානි ඉම්රාන් ඇප ලැබුණු පසු ඉන්දියාවට පැන ඒමට සැලසුම් කර ඇතැයි ඉන්දීය බුද්ධි අංශය සහ විශ්වාස කළ හැකි ආරංචි මාර්ග තමිල්නාඩු බුද්ධි අංශයට තොරතුරු ලබා දී තිබී ඇති බවත් “ද හින්දු” පුවත්පත පෙන්වා දී ඇත.අධිකරණයෙන් ඇප ලැබුණු පසු වෙස්වළාගෙන තලෙයිමන්නාරම වෙත ගොස් ඇති බවත් එහිදී ඔහුගේ සගයන් ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් “ද හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

කන්ජිපානි ඉම්රාන් පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ කොකේන් සහ හෙරොයින් සැපයුම්කරුවන් සමඟ දැඩි සබඳතා පවත්වන අයකු බවත් ඔහුගේ කල්ලිය විශාල වශයෙන් මුහුදු සීමා හරහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන කල්ලියක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “ද හින්දු” පුවත්පතට පවසා ඇත.