විදුලිබිල වැඩි කලොත් විසන්ධි කිරීම් වලට නොයන බව වෘත්තීය සමිති කියයි

0
Electricity Bill - විදුලිබිල වැඩි කලොත් විසන්ධි කිරීම් වලට නොයන බව වෘත්තීය සමිති කියයි

ජනවාරි මාසයේදී විදුලිබිල ඉහළ නැංවීමට ආණ්ඩුව ක්‍රියා කළහොත් විදුලි බිල්පත් නොගෙවන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතා විසන්ධි කිරීමට මණ්ඩලයේ සේවකයින් එක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් හමුවී සාකච්ඡාවක නිරත වුණා.

එහිදී විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මෙන්ම අඛණ්ඩව විදුලිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි ඊට එක්වූ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ කියා සිටියේ.

කෙසේ වෙතත්, අමාත්‍ය කංචන විජේසේකර ඊයේ දිනයේදී කියා සිටියේ ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කරන වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවල නිරත නොවන බවයි.

අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශයට ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කොළඹදී ඊයේ ප්‍රතිචාර දක්වා සිටි අතර, එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී ත්‍රස්තවාදීන් කවුරුන්ද යන්න පෙන්වා දෙන බවයි.