මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55කට

0
Egg Prices - මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55කට

මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තරයක මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින්  අවම මිලක් යටතේ පාරිභෝගිකයින් හට බිත්තර ලබා දීම සඳහා ඊයේ (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුකුළු නිෂ්පාදන කර්මාන්ත කරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡාවන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති  අතර එහිදී කුකුළු බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මෙම කර්මාන්තකරුවන්ගේ දායකත්වය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලිමක් කළේය.

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරීම ද රජයේ වගකීම බව කී අමාත්‍යවරයා දේශීය කුකුළු බිත්තර කර්මාන්තකරුවන් සාධාරණ මිලකට බිත්තර  ලබා නොදෙන්නේ නම් අවම මිලක් යටතේ බිත්තර මිලදී ගැනීමට බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බවත් අවධාරණය කළේය.

එහිදී අදහස් පළ කළ එම කර්මාන්තකරුවන් ඔවුන් තවමත් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49ක් හා 55 මිලට බවත්, එක්තරා අතරමැදි පිරිසක් විසින් බිත්තර ගබඩා කර තබා ගනිමින් බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

කෙසේ වුවද මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගිකයින් වෙත සැපයීමට අදාල කර්මාන්තකරුවන් එකඟත්වය පළ කළේය.

එමෙන්ම  ආරම්භයේ දී කොළඹට දිනපතා බිත්තර රැගත්  ලොරි 20ක් බැගින් එවා ජනාකීර්ණ ප්‍රදේශවල දී පාරිභෝගිකයින්ට අලෙවි කිරීමටත්, එමෙන්ම වෙනත් නාගරික ප්‍රදේශවලට ද එම කටයුතු ව්‍යාප්ත කිරීමටත් එකඟත්වය පළ කළේය.

මීට අමතරව සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා සතොස පරිශ්‍ර ආශ්‍රිතව බිත්තර අලෙවි කිරීමේ පහසුකම් ලබා දීමටත්, කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වුවහොත් අදාල බිත්තර අලෙවිකරුවන් ආරක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා දීමටත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟත්වය පළ කළේය.

කුකුළු කර්මාන්තය ආශ්‍රිතව දැනට පවතින සත්ව ආහාර හිඟකම හා මිල ඉහළයාම වැනි හේතුන් නිසා එම කර්මාන්තයේ යම් බිද වැටීමක් පැවතියත් ලබන වසර මැයි මස වනවිට නැවතත් බිත්තර හා කුකුළු මස් කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ද මෙහිදී  සාකච්ඡා විය. ඒ අනුව කුකුළු නිෂ්පාදන ආශ්‍රිතව මව්සතුන් හා බිත්තර රැක්කවීම මගින් පැටව් ලබා ගැනීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයේ නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.