කංසා වගා බලපත‍්‍රය කෝටි තුනයි

0
Hemp Permit - කංසා වගා බලපත‍්‍රය කෝටි තුනයි

නීතිගත කිරීමෙන් පසුව කංසා වගා කිරීමට ඉදිරිපත් වන ආයෝජකයන්ගෙන් අඩුම වශයෙන් රුපියල් කෝටි තුනකවත් අනිවාර්ය තැන්පතුවක් ලබා ගැනීමට ආණ්ඩුවේ අවධානය​ යොමු වී ඇත.

කංසා වගා කිරීමට ලබා දෙන්නේ ඒවා ආයුර්වේද ඖෂධයක් ලෙස අපනයනය කිරීමට පමණක් බවත් යම් හෙයකින් කංසා මෙරට සමාජය තුළ බෙදා හරින බවට අනාවරණය වුවහොත් අදාළ නැත්පතු මුදල රාජසන්තක කර වගා බලපත්‍රයද අවලංගු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි පැවසුවේය. කංසා නීතිගත කිරීමට වසරක පමණ කාලයක් ගත වනු ඇතැයිද ඔහු කීවේය.

කංසා වගා කිරීමට විදෙස් ආයෝජකයන්ටද අවස්ථාව ලබා දෙන බවත් එහිදී ඔවුන් ඩොලර්වලින් තැන්පතුවක් තැබීම අනිවාර්ය බවද ඔහු පැවසුවේය. කංසා වගා කිරීම සඳහා යම් යම් සීමිත භූමි ප්‍රදේශයක් ලබා​දෙන බවත් එම ස්ථනාවල ආරක්ෂක නිලධාරීන් සහ කැමරා පද්ධති ආදිය අනිවාර්යයෙන්ම යෙදිය යුතු බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අදාළ තැන්පතු මුදල කොතෙක්දැයි යන්න නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව තීරණය කරන බවත් තැන්පතු මුදල ලෙස විශාල මුදලක් අය කිරීම මගින් කංසා සමාජයට යෑම වළක්වා ගැනීමට සිදු කරන පියවරක් බවද අමැතිවරයා පැවසුවේය. ආයෝජකයන්ට රෙගුලාසි පද්ධතියක් නියම කරන බවත් සමාජය වෙත කංසා යෑම උපරිම ලෙස ඉන් පාලනය කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.