රටම සලිත කළ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය

0
දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණයට හේතු

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.

බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ පෙරේදා (15) පස්වරුවේදිය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේවන විට බොරැල්ල සුසාන භූමියේ සේවකයින් ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වන 51 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ දහවල් 2.05ට පමණ සිය කොළඹ 07 මල් පාරේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.

එලෙස පිටත්ව යාමට පෙර ෂාෆ්ටර් මහතා ඔහු කළමනාකාරීත්වය දරන සමාගමක විධායක නිලධාරියෙකුට දන්වා ඇත්තේ තමාට ”BT” සමග සාකච්ඡාවක් සඳහා පිටත්ව යා යුතු බවය.

එලෙස BT ලෙස හඳුන්වා ඇත්තේ ඔහු සමග ගනුදෙනු කළ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු දිනේෂ් ෂාෆ්ටර් මහතාට රුපියල් කෝටි 160ක පමණ ණය මුදලක් පියවීමට ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව විධායක නිලධාරියා ෂාෆ්ටර් මහතාට පවසා ඇත්තේ ”සර් මට සර්ගේ LIVE LOCATION එවන්න” යනුවෙනි.

කෙසේ වෙතත් BT නමින් හඳුන්වන ව්‍යාපාරිකයා හමුවීමට යායුතු බවට එදින පෙරවරුවේ ෂාෆ්ටර් මහතා පෙරවරුවේදි පවසා තිබුණ ද පස්වරුවේදි නිවසින් පිටව ගියේ BT නමැති ව්‍යාපාරිකයා හමුවීමටම ද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් අනාවරණ වි නැහැ.

අනතුරුව ෂාෆ්ටර් මහතා දහවල් 2.05ට පමණ නිවසින් පිටත්ව ගිය බව ඒ මහතාගේ බිරිඳ අදාළ විධායක නිලධාරියාට දැනුම් දි තිබුණි.

දහවල් 2.48 ට පමණ දිනේෂ් ෂාෆ්ටර් මහතා විසින් බිරිඳට හා විධායක නිලධාරියාට ඔහු සිටින ස්ථානය සඳහන් වන LIVE LOCATION හුවමාරු කර තිබුණි.

අදාළ LIVE LOCATION හි සඳහන්ව ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බවය.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ, ඊට විනාඩි දෙක තුනකට පසු අදාළ සංඥා බිඳ වැටි ඇති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වු විධායක නිලධාරියා බොරැල්ල සුසාන භූමිය අසලින් ඇති කිතුල්වත්ත පාර ඔස්සේ රාජගිරිය දෙසට පයින් ගමන් කරමින් සිදුකළ සෝදිසියේදි ෂාෆ්ටර් මහතාගේ රථය බොරැල්ල සුසාන භූමිය තුළ නවතා ඇති ආකාරය දැක තිබේ.

ඔහු රථය අසලට ගමන් කිරිමේදි ෂාෆ්ටර් මහතා වාහනයේ රියදුරු අසුනේ සිටින අයුරු දැක එහි දොර විවෘත කර තිබුණි.

එහිදී ඔහු දැක ඇත්තේ, ෂාෆ්ටර් මහතාගේ දෙඅත් ප්ලාස්ටික් වයරයකින් බැඳ ඇති අයුරුය.

එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ ගෙල වයරයකින් සිරකර ගැටගසා පපු ප්‍රදේශයද සිරවන ආකාරයෙන් ගැට ගසා ඇති අයුරු ද නිරීක්ෂණව වි තිබුණි.

වහාම ක්‍රියාත්මක වු විධායක නිලධාරියා ෂාෆ්ටර් මහතාගේ දෙඅත් හා ගෙල සිරකර තිබු වයර් ගලවා ඔහුගේ මුහුණට මෝටර් රථයේ තිබූ වතුර බෝතලයකින් වතුර ඉස තිබුණි.

එහිදි සිහිසුන්ව සිටි ෂාෆ්ටර් මහතාට කැස්සක් ඇති වි තිබේ.

එහිදී අදාළ නිලධාරියා කෑගසා සහාය ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී සුසාන භූමියේ වළවල් කපමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගේ සහාය ඇතිව ෂාෆ්ටර් මහතාව ඉදිරිපෙළ අනෙක් පස මගී අසුනේ හිඳුවා ඇති බව සඳහන් ය.

ඒ වනවිට වේලාව පස්වරු 3.08ට පමණ වී ඇති අතර සුසාන භූමියේ වළවල් හාරමින් සිට සහායට පැමිණි පුද්ගලයෙකු සමග එම රථයෙන්ම විධායක නිලධාරියා සහ ෂාෆ්ටර් මහතාව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත රැගෙනවිත් තිබුණි.

“මම ඔතන ඉඳලා ආවා. එද්දි වාහනයක් නවත්තලා තිබුණා. එයාගේ යාළුවෙක් ද කොහෙද එක්කෙනෙක් කෑ ගහද්දි මම ගිහින් දොර ඇරියා. බලද්දි එයාගේ ඇඟේ වයර් එකක් දාලා තිබ්බේ. දකින කොට සිහිය නෑ. ඔළුව පහත් කරගෙන හිටියේ. අත්දෙක ටේප් එකක් දාලා තිබුණා. එහා පැත්තේ සීට් එකට දාලා එයාව එක්කන් ගියා. කතා කළේ නෑ. වතුරත් දුන්නා අපි.. පොඩ්ඩක් ළා හුස්ම තිබුණා වගේ. යද්දි ඔළුව පහත් කරගෙන හිටියේ,” යනුවෙන් එම සේවකයෙක් පැවසීය.

පස්වරු 3.15 ට පමණ ජාතික රෝහල වෙත රැනෙවිත් ඇති ෂාෆ්ටර් මහතා අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ඇතුළත් කර ප්‍රතිකාර ආරම්භ කළේය.

ඊයේ රාත්‍රියේ ෂාෆ්ටර් මහතාගේ ඥාතීන් ජාතික රෝහල වෙත පැමිණි අතර ඔවුන්ගේ පවුලේ හිතවෙතු බව කියන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ද එහි පැමිණ සිටිනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ රාත්‍රී 10.30ට පමණ ප්‍රතිකාර ලබමින් සිටියිදි මියගියේය.

පොලිසිය සඳහන් කළේ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළදී යම් ශාරීරික හිරිහැරවලට ලක්ව ඇති බවට බොරැල්ල පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදි අනාවරණ වු බවය.

අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ එහි සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එමෙන්ම සොකෝ නිලධාරීන් ද පැමිණ බොරැල්ල සුසාන භූමියේ පරීක්ෂණ සිදු කළේය.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාව සිරකර තිබු ඔහුගේ මෝටර් රථය නවතා තිබු ස්ථානය අසලම ඊයේ දිනයේදි මෘත දේහයක අවසන් කටයුතු සිදු කර තිබුණි.

ඒ අනුව අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන මුවාවෙන් එම මහතාගේ රථය සුසාන භූමිය තුළට පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.

මේ අතර අද දහවල් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ගෙල සිරවීමකින් මරණය සිදුව ඇති බවය.

එමෙන්ම අද පස්වරුවේදි අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ ස්ථානීය පරික්ෂාව සිදුකළේය.

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල කනත්ත ඉදිරියෙන් ගමන් කරන අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පහතින් දැක්වේ.