නව බිත්තර මිලට එකඟවිය නොහැකි බව නිෂ්පාදකයින් අධිකරණයට දන්වයි

0
Eggs Prices - නව බිත්තර මිලට එකඟවිය නොහැකි බව නිෂ්පාදකයින් අධිකරණයට දන්වයි

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකඟවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ නඩුව අද ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුහ.

එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ රැස් වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42ක් ද රතු බිත්තර සඳහා රුපියල් 44ක් උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නාය.

එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම මිල ගණන්වලට තම සේවාදායකයින් එකඟ නොවන බව දැනුම් දුන්නේය.

මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය තිබෙන පාලන මිළ ගණන්වලට වඩා නව මිල ගණන් අඩු මට්ටමක පවතින බවත් එය කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම පෙත්සම විභාගයට ගැනීමට නියම කරන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය එම නඩුව පෙබරවාරි මස 06 වන දා විභාගයට ගැනීමට තීරණය කළේය.

එමෙන්ම බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවමින් අතුරු නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය.