වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

0
Retirement Age of Doctors - වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ.

එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය.

මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ දී විශ්‍රාම ගත යුතු අතර මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්විය යුතු වේ.

අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු අතර  වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවට නව සංශෝධනය මගින් ප්‍රකාශ කර ඇත.

එසේ වුව ද ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ.

ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වන බව වාර්තා වේ.

මෙම සංශෝධනයන් ලබන වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වන දින දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් ගොනුකළ රීට් පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර තිබේ.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.