මගේ මහත්තයටත් කැස්ස තිබුණලු, දැන් කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ

0
මගේ මහත්තයටත් කැස්ස තිබුණලු

දර්ශනී විසි තුන් හැවිරිදි ය. ඇප මුදල ගෙවා ගැනීමට වත්කමක් නොවූයෙන් සිය ස්වාමි පුරුෂයා දස මසක් තිස්සේ බන්ධනාගාරයේ ය. ඇයගේ කතාව ඇයගේ වචනයෙන් ම මෙසේය.

“මගේ මහත්තය දැන් මාස 10ක් තිස්සේ ඉන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ. නඩුවෙන් ඇප ලැබුණට ඒක ගෙවන්න මට සල්ලි නැහැ. එදා වේල කන්නෙත් අමාරුවෙන්. දරුවෝ දෙන්නට කිරිපිටි අරන් දෙන්නෙත් අපේ අම්ම. ඉතින් කොහොමද මං ඇප ගෙවන්නේ?”

කතරගමට නුදුරු ගම්මානයක දිවි ගෙවන දර්ශනී දෙදරු මවකි. ස්වාමි පුරුෂයා සිරගත වූයේ දෙවැනි දරුවා බිරියගේ කුසේ සිටියදී ය.

“මට වයස අවුරුදු හතරක ළමයෙක් ඉන්නවා. මහත්තය හිරේට යනකොට මගේ බඩේ හිටිය දරුවා හම්බවෙලා දැන් මාස හතරයි.”

“දැන් මාස 4ක් තිස්සේ මහත්තයව බලන්න දුන්නේ නැහැ. ගොඩක් අයට කොරෝනා හැදිලා කියල බලන්න එන්න එපා කිව්වා. මගේ මහත්තයටත් කැස්ස තියෙනවා කියල එක දවසක් පොලිසියෙන් කිව්වා. ඊට පස්සේ මොනවා උනාද කියල දන්නේ නැහැ. මහත්තයගෙන් කෝල් එකක්වත් නැහැ. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නැහැ. මට හරි බයයි. එයැයි අක්මාවේ සැරව පිරෙන ලෙඩෙක්.” දර්ශනී ගේ හඬ බිඳෙන්නට විය.

“මගේ එකම ඉල්ලීම තමයි මහත්තයව එලියට දාන්න කියන එක. මට ඇප ගෙවන්න සල්ලි නැහැ. මේ දරුවෝ දෙන්න වෙනුවෙන් ඒ මුදල අඩුකරලා මහත්තයව එලියට දාන්න කියල තමයි මම ඉල්ලන්නේ. හන්දියේ පලතුරු කඩයක් ගෙන හිටියේ. අනුන්ගේ ආරවුලකට මැදිවෙලා තමයි එයාවත් හිරේට ගියේ. මගේ තාත්ත දැන් කුලී වැඩ කරනවා, මේ දරුවට කිරිපිටි ටික අරන් දෙන්න.”

සැමියා සිරගත වූ පවුල් දහස් ගණනක් අතරින් දර්ශනීගේ කතාව එක් අහඹු කතාවක් පමණක් බව අපි දනිමු. නමුත් කොරෝනා වසංගතය හමුවේ බොහෝ සිරකරුවන්ගේ ජීවිත අවදානමට ලක්වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

“ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 28ක් පමණ තිබෙනවා. ඒ බන්ධනාගාර තුළ 30,000ක් පමණ පිරිසක් රඳවා තිබෙනවා. මේ රැඳවියන්ට තිබෙන සනීපාරක්ෂක පහසුකම් සහ තදබදය ගැන සලකා බලනකොට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ. බොහෝවිට සිරකරුවන් දෙසීයකට යන්න එක වැසිකිලියයි තියෙන්නේ.” සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පැවසීය.

මෙවැනි තත්ත්වයක් තුළ බන්ධනාගාරයක් තුළට වෛරසය පැමිණියහොත් ඉතා ඉක්මනින් දහස් ගණනක් එකවර රෝගීවීමේ අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.

සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය අනුව, කොවිඩ් වසංගතයෙන් බේරී සිටීමට නම් මුව හා නාසය ආවරණය කර ගැනීම මෙන්ම එකිනෙකා අතර නිසි පරතරය තබා ගැනීම ද ඉතා වැදගත් වේ. නමුත් බන්ධනාගාරයක් තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යා හැකිද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය පිළිබඳව බොහෝ වාර්තා පළවී තිබේ.

“බන්ධනාගාරය තුළ මීටරයක් දුරින් ඉන්න බැහැ. ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම බන්ධනාගාර තුළ සිටිය හැකි සිරකරුවන් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකට වැඩි පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් එක රැඳවියෙක් දාන්න හදල තියෙන අඩි 10 x 6 පමණ සිර මැදිරියක හත් අට දෙනෙක්වත් ඉන්නවා.” නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය.

මෙම තදබදය අඩුකර ගැනීම සඳහා තම සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ යෝජනා කීපයක් ඔහු සිහිපත් කළේය. “සුළු වැරදි සඳහා දඩ ගෙවාගන්න බැරිව සිටින අයට සහනයක් දීම, ඇප ගෙවාගන්න බැරි අයට ඇප ලබා දීම සඳහා යම් විශේෂ ක්‍රමයක් දියත් කිරීම, යහපත් කල්ක්‍රියාවක් තිබෙන අයට නිවාස නිවාඩු ලබා දීම, වයෝවෘද්ධ සිරකරුවන්ට නිදහස ලබා දීමට විශේෂිත ක්‍රමවේදයක් දියත් කිරීම, ඒ වගේම සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආදී යෝජනා ඒ අතර තිබෙනවා.”

(ttps://www.bbc.com/sinhala/ වෙබ් අඩවිය ඇසුරිනි)