සාමාන්‍ය පෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු

0
Suspect Arrested - සාමාන්‍ය පෙළ A9 සිසුවාට ගිනිතැබූ මැර කල්ලිය ගැන තවත් තොරතුරු

A සාමාර්ථ 09ක් සමගින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුවෙකුට කිසියම් පුද්ගලයෙකු විසින් භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර අම්පිටිය ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය.

අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි.

මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ පාසල් සිසුවෙක් A සාමාර්ථ නවයක් සමගින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබුණි.

පසුගිය 26 වනදා රාත්‍රියේ පියා ද සමග ඔහු මිත්තණියගේ නිවසට ගොස් තිබුණේ තමන් ලද ඒ විශිෂ්ට ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇයට දැනුම්දීමටය.

ඔවුන් නැවත නිවස බලා පැමිණෙන අතරවාරයේ අම්පිටිය මී කණුව ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ සිසුවාගේ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වාර්තා වී ඇති අලුත්ම තොරතුර වන්නේ, එම පුද්ගලයා සිසුවාගේ පියාගෙන් කප්පම් මුදල් ඉල්ලා එය නොදීම නිසා උරණ වී මෙලෙස ගිනි තැබූ බවය.

අත් දෙකට සහ බෙල්ලට සිදුවූ බරපතළ පිලිස්සුම් හේතුවෙන් සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ඊයේ පෙරවරුවේ සැත්කමකට භාජනය කර තිබේ.

සිසුවාගේ පියා පොලීසියට පවසා ඇත්තේ තම පුතුට ගිනි තැබූ පුද්ගලයා සමග තවත් කිහිපදෙනෙකු සිටි බවත් අඳුර වැටී තිබූ නිසා ගිනි තැබූ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බවය.

අම්පිටිය ප්‍රදේශය භීතියට පත්කරමින් බොහෝ කලක සිට ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ගිනිතැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ මව්පියන් ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් චෝදනා කරන්නේ ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින් සැරිසරන මෙම මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරාම ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් මෙවැනි අමානුෂික ක්‍රියාවල නිරතවෙමින් සිටින බවය.

හෙරෝයින්, ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන මොවුන් කලක පටන් අම්පිටියේ ජනතාව බියගන්වා කප්පම් මුදල් ලබාගන්නා අතර ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසයි.

එම මැර කල්ලියෙන් තමන් දැඩි පීඩාවට ලක්වන බවට ප්‍රදේශවාසීන් කරන චෝදනාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහනුවර පොලීසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

කෙසේවෙතත් අම්පිටිය දඹවෙල ප්‍රදේශයේදී සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැණුනු අතර ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අත් බෝම්බයක් හා භූමිතෙල් තිබූ බවට සැකකරන ප්ලාස්ටික් භාජනයක් ද මහනුවර පොලීසිය භාරයට ගෙන තිබුණි.