රටම කැලඹුණු ඕමාන සිද්ධිය ගැන රහස් රැසක් එළියට

0
Oman Incident - රටම කැලඹුණු ඕමාන සිද්ධිය ගැන රහස් රැසක් එළියට

තමන්ට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තුන්වැනි ලේකම්වරයා වන ඊ. කුෂාන් නැමැත්තා පවසයි.

ඕමාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු තුන්වැනි ලේකම්වරයා වන ඊ. කුෂාන් නැමැත්තාගෙන් තමන් හිංසනයට හා හිරිහැරවලට ලක්වූ බවට කාන්තාවක් ඊයේ (21) සිදුකළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංචාරක වීසා මාෆියාවට එරෙහිව තමන්ගේ දැඩි ක්‍රියාකලාපය හේතුවෙන් මෙලෙස තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවය.

සංචාරක වීසා මත කාන්තාවන් ගෙන්වා ඕමානයේ සිදුකරන මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් තමාගේ මැදිහත්වීම මත ඉකුත් මාර්තු 27 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලිපියක් යොමු කළ බවත්, ඉකුත් 15වැනිදා මෙරට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙත තවත් ලිපියක් යොමු කළ බවත් ඊ. කුෂාන් පැවසීය.

ඕමානය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ සංචාරක වීසා ජාවාරම්කරුවන් පිළිබඳ සියලු තොරතුරු ඕමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද තමා විසින් ලබාදීම සිදුකළ බව ඔහු පවසයි.

ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේවන විට පුළුල් විමර්ශනයක් සිදුකරයි.

ඒ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් මෙරට විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ විය.

ආශා දිසානායක නම් එම කාන්තාව දඹුල්ලේ පදිංචිකාරිනියක් වන අතර ඇය පසුගිය කාලය පුරාම සැඟව සිටියේ ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරුණු වාතාවරණයකදීය.

ඇය දින ගණනක් පොලීසිය මගහරිමින් සැඟව සිටි පසුබිමක අද පෙරවරුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාර වී තිබුණේ නීතීඥවරුන් දෙදෙනෙකුද සමගිනි.

මේ අතර මෙම විමර්ශනයට අදාළ කාන්තාවන් 45දෙනාගෙන් 40 දෙනෙකුගේම ගමන් බලපත්‍ර ඔවුන් සතුව නොමැති බවත් ඒවා ඔවුන් සේවය කළ නිවෙස්වල හිමියන් සහ විදේශ රැකියා නියෝජිතායතන සතුව පවතින බවත් අනාවරණ වී ඇතැයි වාර්තා විය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා ඕමානයේ භාෂා පරිවර්තිකාවක් ලෙස පමණක් සේවය කර ඇති අතර ඇය මෙම අපරාධවලට සම්බන්ධ වී නොමැති බවය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් වසන් කිරීමට ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකාරිය රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් ඕමානයේ සහ අබුඩා හී රැකියා සඳහා යෙදවූ ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ මෙරට උප නියෝජිතයා මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙම ජාවාරම පිළිබඳව ඩුබායි හී කලක් සේවයේ නිරතව සිටි නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී ඔහු පැවසුවේ මෙරට තරුණියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට හසුවන බවත් ඔවුන් රුපියල් ලක්ෂ 10ත් 20ත් අතර මුදකට අලෙවි කිරීමට මෙම ජාවාරම් කරුවන් කටයුත කරන බවත්ය.

මෙය සිදුකරන්නේ තානාපති කාර්යාලවල සිටින ඇතැම් දූෂිත නිලධාරින් සහ එජන්සිකරුවන් එකතුව බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඊයේ නිවේදනය කළේ ඕමාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවය.

මෙවන් පසුබිමක විදේශසේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති කොන්සියුලර් අංශයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ සොයාබලන ලෙස ඉල්ලමින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එමෙන්ම රොමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව පෙරේදා අත්අඩංගුවට ගත් සිව්දෙනා අතරින් විදේශිකයා සහ තවත් පුද්ගලයෙකු දෙසැම්බර් 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම පිරිස පෙරේදා බදුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිය භාරයට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගැනුණු තවත් දෙදෙනෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරුණු අතර සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන විදේශ සේවා නියුක්කි කාර්යාංශයේ විමර්ශන අංශය මගින් සිදුකෙරේ.