සිසුන්ට අභ්‍යාස පොත් අඩු මිලට දෙන වැඩපිළිවෙළක්

0
Exercise books for Students - සිසුන්ට අභ්‍යාස පොත් අඩු මිලට දෙන වැඩපිළිවෙළක්

“පාසල් උපකරණ මිල තුන් ගුණයකින් නගී” යනුවෙන් පුවත්පතක ප්‍රධාන පුවතින් ඊයේ (17 වැනිදා) හෙළිදරව් කරනු ලැබිණි. එම පුවත පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත අදාළ නිලධාරින් කැඳවා විශේෂ හදිසි සාකච්ඡාවක් පවත්වා අඩුම මිලට අභ්‍යාස පොත් දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇත.

එම සාකච්ඡාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය බැංකුවකින් ණය පහසුකම් ලබාගෙන අභ්‍යාස පොත් මුද්‍රණය කරන ලෙසයි. පාසල් දරුවන්ට අඩු මුදලකටත්, සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට සහන මිලකටත් මෙම පොත් ලබා දෙන ලෙස එහිදී ඇමැතිවරයා දැනුම් දී ඇත. ඒ සඳහා වූ වාර්තාව අද (18 වැනිදා) දිනය වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන ලෙසද ඇමැතිවරයා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට නියෝග කර තිබේ.

මේ අතර අභ්‍යාස පොත් සහ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා නවීනතම මුද්‍රණ යන්ත්‍ර හතරක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබා ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්ගේ කාලයේදීය. එහෙත් අභ්‍යාස පොත් මුද්‍රණය සඳහා අවශ්‍ය යන්ත්‍රය හැර අනෙක් යන්ත්‍ර තුනම ගෙන්වූ බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති බිනර ජයවර්ධන පැවසුවේය. එම යන්ත්‍රය මෙරටට ගෙන්වා අභ්‍යාසපොත් මුද්‍රණය කළේ නම් රුපියල් තිහකට අඩුවෙන් පිටු 40 යේ අභ්‍යාස පොත් ලබා දීමේ හැකියාව පවතින බව ඔහු අවධාරණය කළේ ය.

මේ පිළිබඳ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති වරලත් ගණකාධිකාරී ජේ. එම්. සී. ජයසේකරගෙන්ද විමසා සිටියේය. අභ්‍යාස පොත් මුද්‍රණ යන්ත්‍රය ගෙන්වීමට අයවැය කප්පාදුව නිසා නොහැකි වූවා. 2022 වර්ෂයේ මෙම යන්ත්‍රය ගෙන්වීමට අනුමැතිය ලැබී තිබෙනවා. 2023 වසර වෙනකොට එම යන්ත්‍රය ගෙන්වීමට හැකි උපරිම අයුරින් කටයුතු කරනවා.

2021 වර්ෂයේදී ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 200යි. ඒත් දැන් එම මුදල රුපියල් මිලියන 300 ක් විතර වෙලා තිබෙනවා. මෙම යන්ත්‍රය ලංකාවට ගෙන ඒමට මම ලොකු සටනක් දුන්නා. මෙම යන්ත්‍රය ගෙන ආ පසු අපට සහනදායී මිලට පොත් ලබා දීමේ හැකියාව තිබෙනවා.