පළාත් පාලන මැතිවරණයට පෙර හදිසි ජනපතිවරණයක්?

0
Presidential Election - පළාත් පාලන මැතිවරණයට පෙර හදිසි ජනපතිවරණයක්?

මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි.ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි.

කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය.

එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ‘ගමට සෙත’ සැලසීමට නොහැකි වීම හේතුවෙන් පුංචි සභාවල මන්ත්‍රිවරු මැතිවරණය ප්‍රතික්ෂේප කරති. ‘‘අපට ගමට යන්න බැහැ. ඡන්දය ඉල්ලන්න බැහැ.’’ මන්ත්‍රිවරු කියති.

එම මන්ත්‍රිවරු සිය ගැටලුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නායකත්වය දෙන නිදහස ජනතා සභාවටද ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසාර්ථක වීම, විපක්ෂයට පොදු අපේක්ෂකයකු සොයා ගෙන සන්ධානගත වීමට කාලයක් නොමැති වීම යන කරුණු මත ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙම සතියේ දී සිය හිතවතුන් පිරිසකට අදහස් දක්වා තිබිණි. හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයද වත්මන් ජනාධිපතිවරයාට දීමටද අවධානය යොමු වී ඇති බව සඳහන්ය.