තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට පේන කියූ බොරැල්ලේ සිරිසුමන හිමියන් රිමාන්ඩ්

0
Thilini Priyamali and Sirisumana Thero - තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට පේන කියූ බොරැල්ලේ සිරිසුමන හිමියන් රිමාන්ඩ්

කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි, ඇගේ පෙම්වතා බවට පැවසෙන ඉසුරු බණ්ඩාර ඇතුළු තිදෙනෙකු නොවැම්බර් මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

එමෙන්ම අදාළ වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු බොරැල්ලේ සිරිසුමන හිමියන් ද ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ නියෝග කළේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු 5ක්, ඇයගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාරට එරෙහි නඩු 3ක්, බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව නඩු 2ක් සහ තිකෝ කන්ස්ට්‍රක්ෂන් හි අධ්‍යක්ෂකවරයෙකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා යන අයට එරෙහි නඩුවක් ඊයේ දිනයේ විභාගයට ගැනුනා.

අදාළ නඩු විභාගය සඳහා තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බන්ඩාර සම්බන්ධ කර ගැනුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

කෙසේ වෙතත් මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරි සුමන හිමියන් ඊයේ පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඊට අමතරව ඉසුරු බණ්ඩාර විසින් පරිහරණය කරන ලද මෝටර් රථයක්ද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

තිළිණි ප්‍රියමාලි සහ බොරැල්ලේ සිරිසුමන හිමියන්ට එරෙහිව ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලකට අදාළව රුපියල් මිලියන 43ක් වංචා කිරීමේ සිද්ධියක්ද විවෘත අධිකරණය හමුවේ කැඳවා තිබුණා.

ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ විශාල කතාබහක් ගොඩනැගී ඇති බවටත්, ඉන් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවටත් බන්ධනාගාරගතව සිටිමින් අවස්ථා 3කදී ජංගම දුරකථන භාවිත කරමින් සාක්ෂි වසන් කිරීම, මුදල් ලබාදුන් අයට තර්ජනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් ඇයට ඇප ලබාදිය නොහැකි බව මහේස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියා.

ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි එහිදී නියෝග කළේ.

එමෙන්ම තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතාගේ මව භාරයේ තිබූ රුපියල් ලක්ෂ 150ක මුදල් අධිකරණයේ තැන්පත් කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලික බැංකු ගිනුම් දෙකක ඇති සහ ඔහුගේ රුපියල් ලක්ෂ 70 ක් සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කළා.

එසේම තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 14ක් ලැබී ඇති බවද වාර්තා වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේ අබ්දුල් කමල් හසන් නැමති ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර යන අයගේ පිළිමතලාවේ නිවස පරීක්ෂා කළ බවයි.

එහිදී පවුම් 40ක රන් සහ රුපියල් ලක්ෂ 30ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

එහිදී තිළිණි ප්‍රියමාලි ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කසුන් නාගස්හේන අධිකරණය හමුවේ පැවසුවේ මාධ්‍ය විසින් වරින් වර පළ කරන පුවත් හේතුවෙන් සිය සේවාදායිකාවට විශාල අගතියක් සිදුව ඇති බවයි.

මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර විමර්ශනවලට සිය සේවා දායිකාව බාධාවක් සිදුකර නොමැති බැවින් ඇය ඇපමත මුදා හරින ලෙස නීතිඥවරයා ඉල්ලූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ප්‍රශ්න කර ඇත්තේ බන්ධනාගාරය තුළ සිටියදී ඇය භාරයේ තිබී ජංගම දුරකථන 3ක් සොයා ගැනීම මඟින් විමර්ශනවලට බාධාවක් සිදුවී නැද්ද යන්නයි.

ඇය සාක්ෂි සඟවන බවටත් පැමිණිලි ලැබී ඇති බව මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

මේ අතර, දෙවැනි සැකකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ පවසා ඇත්තේ සිය සේවා දායකයාගේ මව සතුව තිබී මුදල් සී.අයි.ඩී භාරයට ගෙන ඇති බවයි.

ඔහුගේ මව්පියන් වැදගත් යුවළක් බවත් ප්‍රේම සබඳතාවක් අපරාධ යුක්තිය යටතට නොගැනෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

රත්‍රං පරීක්ෂා කිරීමේදී ඒවා රන් නොවන බවට සහතිකයක් ලබා දී ඇති බවත්, සේවාදායකයාගේ ප්‍රකාශය ලබා දී මිනිත්තු කිහිපයක් ඇතුළත මාධ්‍යවල ඒවා පළ වූ බවත් ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළ බව සඳහන්.

පැමිණිලිකාර කමල් හසන්ව ප්‍රියමාලිට හඳුන්වා දෙන්නේ දෙවැනි සැකකරු ඉසුරු බණ්ඩාර බවත් ඔහු ඇයව තම භාර්යාව ලෙස හඳුන්වාදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කලා.

එහිදී විත්තියේ නීතිඥවරයා පවසා ඇත්තේ ජානකී සිරිවර්ධනගේ නීතිඥවරයා වන මෛත්‍රී ගුණරත්න ඇය සම්බන්ධ කතා කළ තවත් තොරතුරු අනවාරණය නොකළ බවයි.

ජානකී සිරිවර්ධන යනු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමයේ ලිබියාවේ මුවමර් ගඩාෆිගේ ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීම සඳහා සජින් වාස් ගුණවර්ධන යැවූ අය බවත් එම සියලු‍ සිද්ධි වසා දමමින් අධිකරණයේ කරුණු හෙළිකරන බවටත් ඔහු චෝදනා කළා.

අනතුරුව බොරැල්ලේ සිරි සුමන හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රසිද්ධ ආයතනවල මුදල් ආයෝජනය කරන බව පවසමින් අවස්ථා ගණනාවකදී රුපියල් මිලියන 750ක් සැකකාර තිලිණි ප්‍රියමාලි ලබා ගෙන ඇති බවයි.

එම මුදල් ලබා ගන්නා අවස්ථාවල උන්වහන්සේ ආරූඪයක් එන බව අඟවමින් එම මුදල් ආයෝජනය කරන්නැයි අදාළ පාර්ශවයන්ට බලකර තිබෙනවා.

ගනුදෙනුවට පෙර තිළිණි ප්‍රියමාලි සැකකාර හිමිනමට කෙටි පණිවුඩයක් යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්. උන්වහන්සේගේ නීතිඥවරයා පවසා ඇත්තේ සිරි සුමන හිමියන් වයස අවුරුදු 18දී වකුගඩුවක් පවා දන් දී ඇති බවයි.

ඕනෑම කටයුත්තකදී උන්වහන්සේ ආශිර්වාද කරන බවද ඔහු ප්‍රකාශ කළා. මුදල් ලබා දීමට උන්වහන්සේ පෙළඹවීමක් සිදුකර ඇති බව බී වාර්තාවේ දැක්වෙන බව එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී සිරිසුමන හිමියන්ගේ නීතිඥවරයා බුදුන්වහන්සේටද ඌරු මස් දන් දුන් බව ප්‍රකාශ කළා.

එම අවස්ථාවේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ දැඩිව අවධාරණය කර ඇත්තේ ආගම්වලට අදාළව අදහස් දැක්වීමෙන් වළකින ලෙසයි.