සාර්ස් වයිරසය හඳුනාගත් මහාචාර්යවරයා කොවිඩ් ගැන ලංකාවට කළ අනතුරු ඇඟවීම

0
Malik peiris - සාර්ස් වයිරසය හඳුනාගත් මහාචාර්යවරයා කොවිඩ් ගැන ලංකාවට කළ අනතුරු ඇඟවීම

සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීම විද්‍යාත්මක අවශ්‍යතාවක් බව හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවා තිබෙනවා.

ශ්‍රී ලංකාව කොවිඩ් සම්බන්ධ ක්‍රියාදාමයේ උච්චතම අවස්ථාවේ සිටින බවත්  ඉක්මණින් LOCK DOWN කිරීමේ අවශ්‍යව ඇති බවත් හෙතෙම පෙන්වා දෙනවා.

ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ මඟින් සාර්ස් වයිරසය හඳුනාගැනීමේ ගෞරවය හිමි වන මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින තුනකට ඉහත දී වෘත්තීයවේදීන්ගේ සංගමය සමඟ අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට හොංකොං හී සිට එක්වෙමින් මෙම අදහස් පළ කර තිබුණා.

“අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින 5ක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින 5කට තවත් දින 5ක් හෝ 7ක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි.

දින 3ක ලොක්ඩවුන් කාලයකට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක්. මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. ” යැයි හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.