මහින්ද ඇතුළු පිරිසක් 22 වන ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමට නොඑති

0
22nd Amendment in Parliament - මහින්ද ඇතුළු පිරිසක් 22 වන ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමට නොඑති

ඊයේ සවස පාර්ලිමේන්තුවේදී පසුගිය සති තුනක් පුරා දැඩි කතාබහට ලක්වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයින් 26 දෙනෙකු මෙම ඡන්ද විමසීම සඳහා එක්ව නොසිටීම විශේෂත්වයක්.

ඔවුන් අතරින් 11 දෙනෙකු මේවන විට විදේශගතව සිටීම හේතුවෙන් අදාළ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත නොකළ බවටයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹේපොල, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්. එම්. එම්. මුශාරෆ්, ප්‍රදීප් උඳූගොඩ සහ නිපුණ රණවක යන පාර්ලිමේන්තු නියෝජිතයින් මේවන විට සිටින්නේ විදේශගතවයි.

ආණ්ඩු පක්ෂයේ ජයන්ත වීරසිංහ, සහන් ප්‍රදීප් විතාන, විමලවීර දිසානායක සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙම ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිට ඇත්තේ අසනීප තත්ත්වයන් හේතුවෙන් බව එම නිවේදනයේ සඳහන්.

කෙසේවෙතත් එවැනි කිසිදු සාධාරණ හේතුවකින් තොරව මහින්ද රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, සාගර කාරියවසම් සහ රංජිත් බණ්ඩාර මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් වැළකී සිටියා.

කෙසේවෙතත් ඊයේ පැවති ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කළ බවක් දක්නට නොලැබුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ නාමලේඛනය තුල ද ඔහුගේ නම ඇතුලත් වී නැහැ.

මීට අමතරව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් නිකුත් කර ඇති මෙම නම් ලැයිස්තුව තුල ඡන්දය භාවිත කිරීමට නොපැමිණි ස්වාධීන මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ නම් ද ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව මහාචාර්ය ජී. එල්. පීරිස්, වෛද්‍ය උපුල් ගලප්පත්ති, අංගජන් රාමනාදන්, ශාන් විජේලාල් ද සිල්වා සහ මහාචාර්ය තිස්ස විතාරණ ද 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කර නැහැ.

මීට අමතරව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නියෝජිතයන් 13 දෙනෙකු ද 22 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සභා ගර්භයට පැමිණීමෙන් වැළකී සිටි බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව ආර් සම්බන්ධන්, අබ්දුල් හලීම්, වඩිවේල් සුරේෂ්, සූ. නොහාරාද ලිංගම්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්, සෙල්වරාසා ගජේන්ද්‍රන්, හෙක්ටර් අප්පුහාමි, වේලුකුමාර්, එස්. එම්. මරික්කාර්, හේෂා විතානගේ, එම්. ඒ. සුමන්තිරන්, රාජපුත්තිරන් රාසමානික්කම් සහ තවරාජා කලෙයිඅරසන් යන විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට එක් වී නැහැ.

ඊයේ පැවති 22 වන ව්‍යවස්ථා සංශෝධන ඡන්ද විමසීමේදී ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුල රැස්ව සිටි නියෝජිතයන් 180 දෙනාගෙන් 179 දෙනෙක් ඡන්දය භාවිත කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පමණක් එයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

එමෙන්ම පළමු ඡන්ද විමසීමෙන් අනතුරුව 22 වන ව්‍යවස්ථාවට සංශෝධනයක් රැගෙන ආ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම සංශෝධනය 21 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙසට වෙනස්විය යුතු බවට සංශෝධනයක් එක් කරනු ලැබුවා.

මේ අතර මෙම නව පනත සංශෝධනය වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු නියෝජිතයන්ට තවදුරටත් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යන අතර පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ මේවන විටත් පාර්ලිමේන්තුව තුල ද්විත්ව පුරවැසිභාවය හිමි නියෝජිතයන් 10කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි.

ඒ අනුව ඔවුන් සදාචාරාත්මකව සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කරනවා. ඔහු පවසන්නේ මෙම මහජන නියෝජිතයින් මෙරට ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන්නේ නම් ඔවුන් ඉල්ලා අස්විය යුතු බවයි.