පක්ෂ දේශපාලනය ඉවත දමා එකතු වෙන්නැයි ජනපති ඉල්ලයි

0
Request from President - පක්ෂ දේශපාලනය ඉවත දමා එකතු වෙන්නැයි ජනපති ඉල්ලයි

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇතිකර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

මේ වනවිට ඉතා අසීරු කාලයක් පසු කරමින් සිටියත්, කිසිවෙකු කුසගින්නේ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමින් 2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා කීය.

විකසිත ප්‍රජාවකින් හෙබි ඉසුරු පිරි දිස්ත්‍රික්කයක් බවට අම්පාර දිස්ත්‍රික්කය පරිවර්තනය කරමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාවට නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට වී නිෂ්පාදනයෙන් 22% ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරන අතර ඉදිරි යල සහ මහ කන්නවල අස්වැන්න සාර්ථක කරගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී සිටි රාජ්‍ය නිලධාරීන් අතරට ගිය ජනාධිපතිවරයා ක්ෂේත්‍ර කටයුතුවලදී ඔවුන් හඳුනාගත් ගැටලු සහ දුෂ්කරතා පිළිබඳ ඝෘජුවම ඇහුම්කන් දීම ද විශේෂත්වයක් විය.

අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හාඩි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ජනාධිපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ගොවිපොළ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද කටයුතු කළේය.

අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“පසුගිය වසරේ රුපියල් බිලියන 08ක බිල්පත් තිබෙනවා සමාගම් සඳහා ගෙවීමට. අපි ඒවා ගෙවීම දැන් ආරම්භ කරලා තිබෙනවා. ඉන් බිලියන 04ක් විතර අපි මේ වනවිට ගෙවා තිබෙනවා.”

“දෙවනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධ කරගැනීම පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය නිලධාරීන් ලබාදෙනවා. අපි මේ වැඩපිළිවෙලේදී එක කණ්ඩායමක් ගැන සඳහන් කළේ නැහැ. ඒ ත්‍රිවිධ හමුදාව. ඔවුන්ගේ ගොවිපොළවල්වලින් විශාල නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවත් අපි මේකට සම්බන්ධ කරගත යුතුයි.”

“ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය. මෙහෙම තත්ත්වයක් මීට පෙර ලංකාවේ ඇතිවී තිබුණේ නැහැ. දෙවන ලෝක යුද්ධයේදී ආහාර ගේන්න බැරි වුණාට ආර්ථිකය කඩාගෙන වැටුණේ නැහැ. දැන් ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. පසුගිය වසරට වඩා මේ වසරේ මේ ආර්ථිකය ගොඩ අරගෙන තිබෙනවා. තවම ගැටලු තිබෙනවා. අපි මුදල් මුද්‍රණය කරන්න ගියොත් උද්ධමනය වැඩි වෙනවා. තිබෙන මුදල් එක්ක වැඩ කරද්දි සීමා ඇති වෙනවා. කෙසේ හෝ අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි.”

“දැනට තිබෙන්නේ තමන්ගේ ප්‍රදේශවල මේ වගා කටයුතු ආරම්භ කරන්න. ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපිට වැඩිපුර අවශ්‍ය ආහාර වර්ග ගැන අපේ ආහාර සුරක්ෂිතතා කාර්යාංශයෙන් දැනුම් දෙයි.”

“වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ කන්නය සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් තිබෙනවා. බඩඉරිගු වැනි බෝග වගාවන් වැඩිකරගන්න ඕන. ඒ සඳහා ඉඩ කඩ ලබා ගනිමින් ඒ කටයුතු සිදු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.”