උද්ඝෝෂණවලට කුඩා දරුවන් ගෙන යෑම අනුමත කළ හැකිද?

0
Children for Protests - උද්ඝෝෂණවලට කුඩා දරුවන් ගෙන යෑම අනුමත කළ හැකිද?

උද්ඝෝෂණ සඳහා කුඩා දරුවන් යොදාගැනීමේ සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් ව තිබේ.

පසුගිය 9 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැති විරෝධතාවට දෙමව්පියන් කුඩා දරුවන් රැගෙන ඒම සම්බන්ධයෙන් සහ පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව අදාළ පැමිණිලි දෙක ලැබී ඇත.

නව ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ඊයේ (11) ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, අරගලකරුවන් යැයි කියාගන්නා පිරිසක් රාජ්‍ය විරෝධී ක්‍රියා වෙනුවෙන් කුඩා දරුවන් පලිහක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා,

“දෙමාපියන්, භාරකරුවන් මේ ආකාරයෙන් දරුවන් අරගල නැත්වලට, නොසන්සුන්කාරී නැත්වලට මහජන උද්ඝෝෂණ තැන්වලට ගෙනයාම තුළින් දරුවන්ට හිරිහැරයක් පීඩාවකට පත්වෙන්න පුළුවන් කියන පැමිණිල්ල තමයි එක පාර්ශවයක් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට වඩා වෙනස් මතයක් දරණ පාර්ශවය ඉදිරිපත් කරලා තිබෙන පැමිණිලිවල සඳහන් වන්නේ, සාමකාමී විරෝධතාවයකදී පොලීසිය මේ දරුවා පීඩාවට පත්වන ආකාරයේ කටයුතු කර දරුවන් පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියා කරලා තිබෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය තමයි තිබෙන්නේ. එතකොට මේ පැමිණිලි දෙකම භාරගෙන තිබෙනවා. මේ පැමිණිලි දෙකටම අපි ඉතාම ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් හැටියට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ පැමිණිලි දෙකත්.. අපට ඇත්ත වශයෙන්ම අපරාධ වරදක් අනාවරණය වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ දරුවා මේ ස්ථානයට රැගෙන යාම දෙමාපියන් විසින් කරන ලද වරදක්. ඊට දඬුවම් කරන්න කියන ඉල්ලීම තුළ යම්කිසි අපරාධ වරදක් අනාවරණය වෙනවානම්, මූලික විමර්ශනවලදී අපිට පෙනී යනවානම් ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ බලතල පොලිස් දෙපාර්තමේන්තුවට තිබෙනවා. දෙවෙනි කාරණය පොලීසියේ ක්‍රියාකලාපය නිසා දරුවා අගතියට පත්වුණා, පීඩාවට පත්වුණා කියන කාරණය සම්බන්ධයෙන් එවැනි වරදක් අනාවරණය වෙනවානම් ඒ සම්බන්ධයෙන් බලය පැවරුණු බලාධිකාරියට පුළුවන්කම තිබෙනවා අධිකරණයට කරුණු වාර්තාකරන්න.”

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)