තිලිණි ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගියේ හෙලිකොප්ටර්වලින්

0
Thilini Priyamali - තිලිණි ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගියේ හෙලිකොප්ටර්වලින්

ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය සැමියා සමග කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට අවස්ථා රැසකදී හෙලිකොප්ටර් යානා මගින් ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලාගෙන් ලබාගත් රුපියල් බිලියන ගණනක මුදල් ගෝනිවල දමා සැකකාර තිලිණි ප්‍රියමාලි ගිනි අවි සහිත සිය පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය තිකෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුළුල් පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ.

තිලිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ප්‍රකෝටිපතියන් රවටා ලබාගත් මුදල් ගෝනිවලට බහා අවිගත් ආරක්ෂකයන්ගේද සහායෙන් ගෙන ආ ආකාරය මෙන්ම ඇයගේ සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂිත සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙම මහා පරිමාණ වංචාවට හසුවූ ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, ජනප්‍රිය නළු නිළියන් රැසක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සැකකාරියගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණි බවට තොරතුරු වාර්තාවීමත් සමග එම පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

සැකකාර තිලිණි ප්‍රියමාලි ලබන 19 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටියදී තිලිණි ප්‍රියමාලී හට දුරකථනයක් ලබාදී ඇත්තේ රුපියල් පනස්දහසක් ලබාදීමේ පොරොන්දුව මත බව බන්ධනාගාර විමර්ශනවලින් හෙළිවී ඇත.

ඇයට එම දුරකථනය ලබාදී ඇත්තේ කාන්තා රැඳවියක බවද හෙළිවී තිබේ.

මීට අමතරව ඇය බන්ධනාගාර ගත කළ පළමු දින තුනේදී රඳවා තිබූ සිරමැදිරියේ තිබූ තවත් දුරකථනයක්ද බන්ධනාගාර බුද්ධි අංශය විසින් සොයාගෙන ඇත.

එම දුරකථන දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් තිලිණිගේ පුද්ගලික ජංගම දුරකථනයේ වට්ස්ඇප් සංවාද පිරික්සීමේදී රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කළ ආයෝජකයන්ට නිළියන් යෙදාගෙන සිදුකළ ලිංගික කරුණු ඇතුළත් සංවාද හා වීඩියෝ හෙළිකරන බවට බලපෑම් කර ඇතැයි අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.