රාගම දොස්තරගේ තවත් සැත්කමකින් ගුරුවරියක් එක්තැන්වෙලා

0
Another Operation of Ramaga Doctor - රාගම දොස්තරගේ තවත් සැත්කමකින් ගුරුවරියක් එක්තැන්වෙලා

පිත්තාශයේ ගල් ඉවත් කිරීමේ සැත්කමින් පසු තරුණියක් මිය යාමේ සිද්ධියට චෝදනා ලැබූ රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා සිදුකළ තවත් සැත්කමකින් පසු උපාධිධාරී ක්‍රීඩා ගුරුවරියකට මාස හතක කාලයක සිට එක්තැන් වී පුනරුත්ථාපන ප්‍රතිකාර ගැනීමට සිදුව තිබේ.‍

මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඇයගේ දෙමව්පියන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කර ඇත.

ආර්.ඒ. කලණි ඉනෝෂා පෙරේරා වන මෙම විසිහත්හැවිරිදි (27) තරුණියට පසුගිය වසරේ ඔක්තෝබර් මස විසිහය වැනි දින (26) උදරයේ ආබාධයක් වැලඳී ඇති අතර එයට ප්‍රතිකාර ලබා ගැනීමට රාගම පෞද්ගලික රෝහලකදී අදාළ විශේෂඥ වෛද්‍යවරයා හමුවී තිබේ.

එහිදී මෙම විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ ඇයට පරික්ෂණයක් කිරීමට අවශ්‍ය බැවින් පසුගිය වසරේ නොවැම්බර් මස දෙවැනි (02) දින තමා සේවය කරන රාගම ශික්ෂණ රෝහලට පැමිණෙන ලෙසය.

පරීක්ෂණය කිරීමට පෙර මෙම තරුණියට ඔක්තෝබර් මස විසිහත්වැනි දින (27) උදරයේ වේදනාව වැඩි වී ඇති අතර වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඇය රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත්කර තිබේ.

අනතුරුව එහිදී කළ පරික්ෂණවලදී ඇයගේ පිත්තාශයේ සහ පිත්තනාළයේ ගල් ඇති බවට දැනුම් දී ඇති අතර අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ භාරයේ තිබූ තිස්එක්වැනි වාට්ටුවට මෙම තරුණිය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහිදී පසුගිය වසරේ නොවැම්බර් මස පස්වැනිදින (05) විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි තරුණියගේ පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ සැත්කම සිදුකර ඇත.

පැය තුනක පමණ කාලයක් සිදුකළ මෙම සැත්කමෙන් අනතුරුව ඇය සිහිසුන්වී ඇති අතර සිහිය ලබා ගැනීම සඳහා ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි ඇතුළත් කර ඇත.

මාස තුනක කාලයක් ඇය එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති අතර සිහි ලැබීමෙන් පසු ඇය මෙම වසරේ ජනවාරි මස විසිපස්වැනි (25) දින ස්නායු ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

එහි මාස එක හමාරක පමණ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු පසුගිය මාර්තු මස අට (08) වැනිදා ඇය ප්‍රතිකාර සඳහා රාගම පුනරුත්ථාපන ඒකකයට ඇතුළත් කොට තිබේ.

සිය දියණියට මෙවන් ඉරණමක් අත්වූයේ සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් බවට ඇයගේ දෙමාපියන් චෝදනා කරයි.

එසේම ඇයට ප්‍රතිකාර කිරීම සඳහා විදෙස් රටකට යවන ලෙසද ඇගේ දෙමව්පියන් රජයෙන් ඉල්ලීමක් කරන අතර මෙම සිද්ධිය සම්න්ධව පරික්ෂණයක් සිදුකරන ලෙස ඇගේ දෙමව්පියන් සෞඛ්‍ය ඇමැතිවරයාට පසුගිය ජනවාරි මාසයේ සහ පසුගිය අගෝස්තු මස පහළොස් 15 වැනිදින ලිපි යොමුකර ඇත.

එසේ වුවද මේවන තෙක් ඇයට සාධාරණයක් ඉටු නොවූ බව කලණි ඉනෝෂාගේ මව්පියන් පවසයි.

මෙම සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව මීට පෙරද සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි ලැබී ඇත.

පසුගිය දිනකදී පිත්තාශයේ ගලක් ඉවත් කිරීමේ සැත්කමෙන් පසු මියගිය වත්තල බුද්ධිකා හර්ෂණීගේ පවුලේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින අතර එම විමර්ශනය අවසන් වනතෙක් අදාළ වෛද්‍යවරයාට සැත්කම් කිරීමේ තහනම පනවා ඇති බවද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේය.