පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන් පහකටත් අවසර

0
Parliament Committees - පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන් පහකටත් අවසර

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුටද එහි සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට මින් ඉදිරියට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ප්‍රතිපාදන සැලසෙන ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (5) සම්මත විය.

පාර්ලිමේන්තුවේ ඉදිරියේදී පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව 20කි.

තරුණ පිරිසකට ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීමට මෙලෙස අවසර ලබා දෙනුයේ අරගලයේ නිරත පිරිස් විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙයට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා ) ඉදිරිපත් කරන නිර්දේශ නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කෙරිණ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා පැවැත්වුණු අතර එම යෝජනාව පස්වරුවේ සම්මත විය.

ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පිහිටුවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළේ‍ය.