යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවට සහතිකයක්

0
European Union Help to Sri Lanka - යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවට සහතිකයක්

ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය සඳහන කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවය.

එම වාර්තාව මේ වසරේ අග භාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කෙරේ.

පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරිත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සාර්ථක වේවායි දි ප්‍රාර්ථනය කරන උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදුකෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ.

හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැඳීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට ද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ත පළ කර ඇත.