යූරියා දෙන්න ඉරානය එකඟවෙයි

0
Uria from Iran - යූරියා දෙන්න ඉරානය එකඟවෙයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සැකසීමට ඉරානය අද (29) එකඟත්වය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Hashem Ashjazadeh මහතා අද (29) පෙරවරුවේ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවූ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර සම්පාදනය සම්බන්ධව අදහස් හුවමාරු කර ගත් බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීම සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලිමක් කළ බවද සඳහන්.

ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ් සඳහා මුලික වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද සඳහන් කර තිබෙනවා.

විශේෂයෙන්ම ලබන වසරට අවශ්‍ය යුරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එළඹෙන මහා කන්නය සඳහා ද යූරියා පොහොර යම් ප්‍රමාණයක් ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී අවධාරණය වුණ බව සඳහන්.