වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල තරුණියකට දිවි අහිමි කරයි?

0
Girl dead in Ja ela - වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල තරුණියකට දිවි අහිමි කරයි?

වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ බව කියන තරුණියක් පිළිබඳ පුවතක් ජා-ඇළ දෑලතුර ප්‍රදේශයෙන් වාර්තා විය.

ජා-ඇළ දෑලතුර පදිංචි බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම ඉකුත් මස 13 වනදා සිය යුගදිවිය ආරම්භ කළේ දහසකුත් බලාපොරොත්තු අතැතිවය.

නමුත් ඉන් දින 17කට පසු හටගත් සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත වන හර්ෂණීට අනපේක්ෂිත ලෙස සිය ජීවිතයෙන් සමුගන්නට සිදුවිය.

හර්ෂණීගේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත්, ඇයට සැත්කමක් සිදුකළ යුතු බවත් හර්ෂණීව පරීක්ෂා කළ වෛද්‍යවරයා දැනුම් දී තිබුණි.

ඒ අනුව, පසුගිය 31 වනදා වත්තල පිහිටි පෞද්ගලික රෝහලකදී ඇයව සැත්කමට භාජනය කෙරුණි.

කෙසේවෙතත් ශල්‍යකර්මයෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

දින විසිපහක් තිස්සේ රාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය, ඇතිවූ සංකූලතා මත පසුගිය 25 වැනිදා ජීවිතයෙන් සමුගත්තාය.

ඇයගේ උපන් දිනය ද යෙදී තිබුණේ ඊයේ (27) දිනයේදීය. උපන් දිනය දා ඇයගේ නිසල සිරුර නිවස තුළ තිබුණේ ඇයගේ ආදරණීයයන් තුළ දැඩි සංවේගයක් ඇති කරමිනි.

පෞද්ගලික රෝහලක් තුළ ඇයට සිදුකළ සැත්කම වෛද්‍යවරයා විසින් නොසැලකිලිමත් ලෙස සිදුකර ඇති බවට පවුලේ ඥාතීන් චෝදනා කරයි.

හර්ෂණී ධර්මවික්‍රමගේ සහෝදරයා වන ප්‍රසාද් ධර්මවික්‍රම,

“ඇතිවූ සංකූලතා නිසා මුත්‍රා ලේ පාටට යන්න ගත්තා. බඩ ඉදිමෙන්න ගත්තා. ඒ වෙලාවෙම එයාව ICU එකට ගන්න කියලා නිර්දේශ කෙරුණා. මුත්‍රා ලේ පාටින් යනවා කිව්වට වෛද්‍ය කාර්යමණ්ඩලය කිසිම තැකීමක් කළේ නැහැ. බඩ ඉදිමුණා කියලා කිව්වට පස්සේ තමයි ඒ අය බය වුණේ. 02 දා වෛද්‍යවරයාගේ නිර්දේශය මත රාගම ICU එකට මාරු කළා. එතැන් සිට දින 25ක් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදිලා පසුගිය 25 වනදා අපෙන් සදහටම වෙන්වුණා.”

“වෛද්‍යවරයා කිව්වේ මේක සිම්පල් දෙයක්. පොඩි දෙයක් කියලා…රිපෝට් බලන්නෙත් නැතුව ඔහේ යනවා. ඔහු මේක හරිම සරල විදිහට තමයි භාර ගත්තේ.”

“මෙයාගේ ශරීරය අභ්‍යන්තරයේ තුවාල කරලා. ඒ නිසා තමයි මෙයාට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණේ.”

මෙවන් පසුබිමක, හර්ෂණී මියයාමෙන් පසු සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමටද පටන්ගෙන තිබුණි.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතාගෙන් මේ සම්බන්ධව අප කළ විමසීමකදී සඳහන් කළේ, අදාළ පෞද්ගලික රෝහල සහ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.