කජීමාවත්ත ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වෙයි

0
Fire in Thotalanga - කජීමාවත්ත ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වෙයි

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් පැල්පත් නිවාස 80ක් පමණ විනාශ වී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඊයේ රාත්‍රී හටගත් මෙම ගින්න ග්‍රෑන්ඩ්පාස් පොලිසිය, යුද හමුදාව හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව මැඩපවත්වනු ලැබුවා.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී තිබෙනවා.

ඔවුන්ට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් සලසා දී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ගින්නෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන උපදෙස් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල පිහිටි කජීමාවත්තේ නිවාස පෙලක මෙම ගින්න හටගෙන තිබුණේ ඊයේ රාත්‍රී 8ට පමණයි.

සුළු වේලාවකින් ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණා. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහ නාවික හමුදාවේ ගිනි නිවීම් රථ 10ක් යෙදවූ බවයි.

පැයකට පමණ පසුව ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සමත් වුණා.

මේ අතර කජීමාවත්ත නිවාස පෙළෙහි හටගත් ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට, කොළඹ දිසාපතිවරයාට සහ නාගරික සංවර්ධන අධිකාරියට ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දුන් බවයි.