ගල් අඟුරු නැති වුණොත් පැය 10ක විදුලි කප්පාදුවක්

0
Power Cut Loosing Coal - ගල් අඟුරු නැති වුණොත් පැය 10ක විදුලි කප්පාදුවක්

ලබන ඔක්තෝම්බර් මස 28 වන වන විට ගල් අඟුරු ආනයනය කිරීමට නොහැකි වුවහොත් දිනකට පැය 10ක හෝ 12 පමණ කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම අනතුරු අඟවනවා.

එහි සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙරටට අවශ්‍ය විදුලි ප්‍රමාණයෙන් සියයට 35ක් පමණ නිපදවනු ලබන්නේ ගල් අඟුරුවලින් බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අවශ්‍ය තොග ආනයනය කිරීමට පියවර නොගත හොත් ඔක්තෝම්බර් මස 28 වනදා වන විට නොරොච්චෝල බලාගාරයේ සියලුම ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙනවා.

දැනට ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් පමණක් වන අතර විදුලි උත්පාදනය වෙනුවෙන් නොරොච්චෝල බලාගාරයට දිනකට මෙට්‍රික් ටොන් 5000ක් පමණ අවශ්‍ය බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.

ඒ අනුව පවතින තොග ප්‍රමාණවත් වන්නේ ඉදිර දින 50ක පමණ කාලයක් සඳහා පමණක් බව ඔහු ප්‍රකාශ කරනවා.

දීර්ඝ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීම නතර කර ගැනීමට නම් ලබන මස 15 වනදා වන විට හෝ විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමට සිදුවන බවයි ජනක රත්නායක කියාසිටියේ.

දින 5කට වතාවක් ගල් අගුරු නෞකාවක් පැමිණිය යුතු වන අතර එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගත යුතු බව ද මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනවා.