ජනපතිට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ලිපියක්

0
A Letter from Mahanayaka theros to President - ජනපතිට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ලිපියක්

නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාව පිළිබඳව දැනුවත් කරමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක්කල් ලබාදී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බවය.

ආගමික සිද්ධස්ථාන මගින් සිදුකරන සාමාජීය සේවය අවතක්සේරුවට ලක්කරමින් මූල්‍යමය ලාභ උපදවන කර්මාන්තශාලා මට්ටමෙහිලා සලකමින් සිදුකර ඇති නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් අතිශ්‍ය දුෂ්කර තත්ත්වයක් උද්ගතව ඇති බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රකොට ගනිමින් සූර්යබල පද්ධති දිරිගැන්වීමට කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමෙන් මෙම විදුලි අර්බුදය සඳහා දිගුකාලීන විසඳුමක් ලබාදිය හැකි බවද අදාළ ලිපියෙන් යෝජනා කර ඇත.

මහජන මුදල් අවභාවිතව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රණයක් සකස් නොකොට ආර්ථික අර්බුදයේ සමස්ත බර මහජනතාව මත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද ත්‍රෛනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

ඒ හේතුවෙන් ආගමික සිද්ධස්ථාන හරහා සමාජයට සිදුවෙන සේවය සලකා සහනශීලි නව විදුලි ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවධාරණය කරසිටින බවද මහනාහිමිවරුන් පෙන්වාදෙයි.

ස්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක, අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනායක, අමරපුර මහනිකායේ අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී චන්දසිරි මහනායක, රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබේ.