ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ආධාර අවශ්‍ය නැති බව ඉන්දියාව තීරණය කරයි

0
Financial Assistance by India - ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ආධාර අවශ්‍ය නැති බව ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බව ඉන්දියාව පවසයි.

මෙම වසරේදී මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලබාදී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා බැවින් ඉන්දියාව මෙම ස්ථාවරය ගත් බව එම ආරංචි මාර්ග පෙන්වාදී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලුම්කර ඇති ඩොලර් බිලියනයක නව විනිමය හුවමාරු ණය මුදල සහ ඉන්ධන ලබාගැනීමට ඉල්ලුම්කර ඇති ඩොලර් මිලියන 500ක ණය මුදල නොලැබෙන තත්ත්වයක් මතුව ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

පසුගිය මැයි සහ ජුලි අතර කාලසීමාවට වඩා දැන් මෙරට තත්ත්වයේ යම් ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබෙන බවද එම වාර්තා මගින් පෙන්වා දී තිබේ.

ඉන්දියාව මේ වනවිට මේ වසරේදී ඩොලර් බිලියන 3.8ක මූල්‍යධාර ලබාදී ඇති බවත් දැන් ඒ සියල්ල තීරණය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත බවත් ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තාකර ඇත.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජපානය සහ චීනය සමග ඉන්දියාවට ද ආරාධනා කරනු ඇති අතර එවැනි සමුළුවක් මේ වසර තුළ දකුණු කොරියාවේ පැවැත්වීමට ඉඩ ඇතැයි රොයිටර්ස් වැඩිදුරටත් පවසයි.