රත්නපුරයේ පතලකට දැමූ දැරියගේ සිරුර අද ගොඩ ගනී

0
Child Murder - රත්නපුරයේ පතලකට දැමූ දැරියගේ සිරුර අද ගොඩ ගනී

පහරදී ඝාතනය කර උරයක දමා මළ සිරුර පතලකට දැමූ රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප්‍රදේශයේ සත් හැවිරිදි දැරියගේ දේහය අද (11) ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, පොලිසිය රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව ලබාගත් නියෝගයකට අනුවයි.

දැරියගේ සිරුර දැමූ පතලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති අතර, අද පෙරවරුවේ ඇයගේ දේහය ගොඩ ගැනෙන්නේ රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරීයා ඉදිරියේදීයි.

මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින ඝාතනය සිදුකළ පුද්ගලයා සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

ඝාතනයේ ප්‍රධාන සැකකරු සිය නීත්‍යානුකූල බිරිඳට අමතරව ඝාතනයට ලක්වූ දැරියගේ මව මෙන්ම, තවත් කාන්තාවක් අනියම් බිරින්ඳෑවරුන් ලෙස රත්නපුර – උඩදෙල්වල – ගඟපහල ප්‍රදේශයේ එකම නිවසක තබා ගනිමින් රැඳී සිට ඇති බවටයි විමර්ශනවල දී අනාවරණ වී තිබුණේ.

පසුගිය මැයි මාසයේ දිනයක දී ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ නිවසට රැගෙන ආ පැණි වළල්ලක් දැරිය ආහාරයට ගත් අවස්ථාවේදී සැකකරු විසින් දරුවාට අමානුෂික ලෙස පහර දී ඇති බව සඳහන්.

පහරකෑම හේතුවෙන් දැරිය අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියදී, නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා තමා සොයා පොලිසිය පැමිණෙන බැවින් දැරිය රැගෙන කැලයට යන ලෙස අනියම් සැමියා දැරියගේ මවට පවසා තිබෙනවා.

එහිදී දරුවා රැගෙන කැලයට පැමිණි අවස්ථාවේදී තම උකුල මත දැරිය මියගිය බව මව පොලිසියට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අනතුරුව අනියම් සැමියා විසින් දරුවාගේ සිරුර පොහොර උරයක දමා අසල පිහිටි අතහැර දැමූ මැණික් පතලකට දැමූ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සැකකරුගේ නීත්‍යානුකූල බිරිඳ මෙන්ම තමන් ද, ඊට සහාය දැක්වූ බව දැරියගේ මව වැඩිදුරටත් පවසා තිබුණා.

එසේම, සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයට යම් අයෙකු පැමිණෙන්නේ දැයි ඔත්තු බලා ඇත්තේ සැකකරු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති ගැබිණි කාන්තාවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දැරියගේ මව සහ ඔත්තු බැලූ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ මේ මස 21 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.