ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය අද

0
SL vs BAN T20 - ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගය අද

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. එසේම අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇත.

අද (01 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31 වැනිදා) පස්වරුවේ පැවැති පුහුණු සැසියෙන් අනතුරුව නම් කරන බව දඟ පන්දු යැවීමේ පුහුණකරු පියල් විජේතුංග කියා සිටියේය. ඊයේ (31 වැනිදා) අයි.සී.සී. ක්‍රිකට් ඇකැඩමියේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් විජේතුංග මහතා මේ බව කියා සිටි අතර ඔහු වැඩිදුරටත් කීවේ අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහභාගි වීමට වැඩි ඉඩක් පවතින බවයි. ඒ අනුව ධනංජය ද සිල්වාට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව සැලවෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතී. අදාළ මාධ්‍ය හමුවෙන් අනතුරුව ඩුබායි වේලාවෙන් පස්වරු 6.30ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 සිට පැය දෙකක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පෙර සිය අවසන් පුහුණුවීම් සඳහා එක්විය. ඊයේ (31 වැනිදා) ඉන්දියාව සහ හොංකොං අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වීමට නියමිතව තිබුණු තණතීරුවේදීම ශ්‍රී ලංකා තරගය පැවැත්වීම නියමිත විය.

මේ අතර බංග්ලාදේශය වෙනුවෙන් මාධ්‍ය හමුවට එක් වූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ අධ්‍යක්ෂක කලිඩ් මහමුඩ් ‘ඇෆ්ගනිස්තානයට වඩා බංග්ලාදේශය හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීම පහසුද කියා අද තරගයේදී බලමු’ යැයි පැවසූ අතර එය, ඇෆ්ගනිස්තානයට සාපේක්ෂව බංග්ලාදේශය සමග තරගය පහසු යැයි මින් ඉහත අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් කළ ප්‍රකාශයට අනියමින් ප්‍රතිචාර දැක්වීමක් විය.

මේ දක්වා දෙරට අතර පවත්වා තිබෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග 12ක් අතරින් ශ්‍රී ලංකාව තරග 08ක් ජයගන්නා අතරවාරයේදී බංග්ලාදේශයට හිමිව ඇත්තේ තරග 04ක ජය පමණි. අවසන් වරට මොවුන් ඉකුත් 2021 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එකිනෙකා හමු අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් හිමිවිය.

තරගය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය මේ වන තීරණාත්මක සාධකයක් වී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ඩුබායිහිදී අවසන් වරට පැවැති විස්සයි විස්ස තරග 15කින් 14කදීම දෙවැනියට පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන තිබීමය.

ඩුබායි ක්‍රීඩාංගණය අවට මේ දිනවල දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවූ අගයක් ගනු ලබයි. එය රාත්‍රී 7.30 පමණ හෙවත් තරග ආරම්භක වේලාව වන විට සෙල්සියස් අංශක 30ත් 35ත් අතර අගයක් ගනු ලබන බැවින් ක්‍රීඩකයින්ට ඒ පිළිබඳවද අවධානය යොමු කිරීමට සිදුව තිබේ. ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේදී දැඩි උෂ්ණත්වයට අමතරව ක්‍රීඩාංගණයට තරමක් පින්න පතිත වූ බවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක කී කරුණට අනුවද ලකුණු හඹා යන කණ්ඩායමට වැඩි වාසියක් හිමිවන බව පැහැදිළිය.

(aruna.lk වෙබ් අඩවිය ඇසුරිනි)