පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

0
AFG vs BAN - පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආසියානු කුසලාන සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් කඩුළු 7 ක ජයග්‍රහණයක් අත් කර ගන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ට හැකි වුනා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන බලාපොරොත්තු තවදුරටත් අලුත් කරමින්.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 18.3 ක් තුළ දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 131 ක් රැස් කර ගන්නට සමත් වුණා.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 127ක් පමණයි.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 128ක් ලබාගත යුතුව තිබුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ දැඩි පාලනයකින් යුත් පන්දු යැවීම හමුවේ මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට ලෙහෙසි පහසු ඉලක්කයක් වූයේ නැහැ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව පහළොවක් ව තිබිය දී බිඳ වැටුණු අතර ලකුණු 11 කට දැවී ගියේ මහමුදුල්ලා ගර්භාස්.

අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවෙකු හසරතුල්ලා සසායී ලකුණු 23කට දවා ගන්නට මොසඩක් හොසෙයින් සමත් වුණා.

ඒ මුළු ලකුණු සංඛ්‍යාව 45 ක් ව තිබියදී.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ය්හුන්වෙනි කඩුල්ල බිඳ වැටෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාව 62 ක්ව තිබියදී.

ඒ නායක මොහොමඩ් නබී.

ඔහු රැස්කර ගත්තේ ලකුණු අටක් පමණයි.

එතැන් සිට පිටියේ ස්ථාවර වූ ඊබ්‍රහිම් සදාන් සහ නජිබුල්ලා සදාන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ 4 වන කඩුල්ලට ලකුණු 69 ක නොබිඳුනු සම්බන්ධතාවක් ගොඩ නගමින්.

මෙහිදී ඊබ්‍රහිම් සදාන් නොදැවී ලකුණු 42 ක් රැස්කරගත් අතර නජිබුල්ලා සදාන් නොදැවී ලකුණු 43 ක් රැස්කළේ පන්දු 17 කට පමණක් මුහුණ දෙමින්.

ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර හයක් ඇතුළත් වී තිබුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 128ක් සීමාව පන්දුවාර 18 යි පන්දු තුනක් තුලදී පසුකර යන්නට මෙම ක්‍රීඩකයින් යුගල සමත් වුණා.

මේ ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්තාන කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබන්නේ තමන් එක් වූ තරග දෙකේම ජයග්‍රහණ වාර්තා කර ගනිමින්.