IMF සාකච්ඡාවල යහපත් වර්ධනයක්.. දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිට තුති…

0
Governor's Statement - IMF සාකච්ඡාවල යහපත් වර්ධනයක්.. දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිට තුති...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවතෙන සාකච්ඡා යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සාකච්ඡාවල පළමු කඩයිම වන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් කඩිනමින් එළැඹීමට හැකිවෙතැයි ඔහු බලාපොරොත්තු වන බවය.

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) පැවති සමන්ත්‍රණයක් අමතමිනි.

මේ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි සහ ණය අපේක්ෂිත රටකට සුදුසු ම අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා.

“ඇත්ත වශයෙන් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අප දැඩි වේදනාකාරී ක්‍රියාවලියක් පසුකළ යුතුයි. එයයි අපි සැවොම මේ වන විට අත්දකින්නේ. පසුගිය මාස කිහිපය තුළ අපිට එය වැඩියෙන් අත්විඳීමට සිදුවූවත් ක්‍රමයෙන් යම් වර්ධනයක් දක්නට ලැබෙනවා. මගේ මේසයට දිනපතා ලැබෙන ලිපි මගින් නොයෙකුත් ගැටලු, පැමිණිලි ඉදිරිපත් වෙනවා. මට මේ දේවල් ආනයනය කිරීමට මුදල් නැහැ, ආනයන සීමා නිසා මට මේ දේවල් ආනයනය කරන්න බැහැ, ඉහළ පොලී අනුපාත නිසා අපට ව්‍යාපාර කරන්න බැහැ, අපේ රැකියා අහිමි වෙනවා වගේ පැමිණිලි ඔවුන් ඉදිරිපත් කරනවා. අපි කොහොමද මෙයින් ගොඩඑන්නේ. ඇත්තෙන්ම අපි සිටි තැන සහ අද සිටින තත්ත්වය සැලකූ විට අපි යම් ප්‍රගතියක් ලබා සිටින බව ඔබටත් වැටහෙනවා ඇති.”

“මීට මාස තුනකට පෙර ඔබ මේ වගේ දෙයක්වත් සංවිධාන කරන්නේ නැහැ. මන්ද කිසිවෙකු මෙහි පැමිණෙන්නේ නැහැ පෙට්‍රල්, ඩීසල් නොමැති නිසා. මට ප්‍රකාශ කරන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවේදී අපි හොඳ ප්‍රගතියක් ලබාගෙන සිටින බව. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් කඩිනමින් ඇතිකර ගැනීමට හැකිවේවි.” 

“එම එකඟතාව ඇතිවෙන විට, විශ්වසනීය වැඩසටහනක් අප සතුවේවි. ඉදිරි වසර තුන හතරක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට වැදගත් මෙන්ම අහිතකර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා එහිදී අපට එකඟවෙන්න සිදුවේවි. එමගින් අපිට යම් ස්ථාවරත්වයක් ගොඩනඟාගත හැකියි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැයෙන් ද ඒ සඳහා මූලික පදනමක් ඉදිරිපත් කරනු ලැබුවා.”

“එහිදී දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුණත් වඩාත් දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ස්තුති කළ යුතුයි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීම, බදු ඉහළ නැංවීම, පොලී අනුපාත ඉහළ නැංවීම ආදී සියල්ල ජනප්‍රිය පියවර නොවුණත්, අපේ පැවැත්ම වෙනුවෙන් ඉදිරියට යාමට නම් දැන් මේ දේවල් අනිවාර්යයෙන් කළ යුතුයි.”