කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී

0
Kanchana and Champika - කාංචනගේ අභියෝගය පාඨලී බාරගනී

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සොයා බැලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යෝජනා කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය.

ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා පිහිටුවීමට යන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය බාර ගන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාඨලී චම්පික රණවක මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ඔහු එම තනතුර බාර ගැනීමට කැමැත්ත පළ කළේ ඒ අනුවය.

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට අද යෝජනාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කළේය.

විපක්ෂය පාර්ලිමේන්තු කාරක සභාවල සභාපති තනතුරු දිගින් දිගටම ඉල්ලමින් සිටින බැවින් තමා යෝජනා කළ කාරක සභාවේ සභාපතීත්වය ලබාගන්නැයි විපක්ෂයට ආරාධනා කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ දැනුමක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැනි අයකු එහි සභාපතීත්වය සඳහා පත්වන්නේ නම් වඩාත් සුදුසු බවද විජේසේකර මහතා පැවසීය.

කංචන විජේසේකර මහතා:

ගල් අඟුරු ඉන්ධන ආනයනය ඇතුළු කටයුතු සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා තොරතුරු ගණනාවක් හෙළි කරලා තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා. එතුමට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්.

පාඨලී චම්පික රණවක මහතා:

රහස් පොලිසියට නොවෙයි. විගණකාධිපතිවරයාට බලතල දීලා පරීක්ෂණයක් කරන්න අවස්ථාව ලබා දෙන්න. අපි එතැනට තොරතුරු දෙන්න සූදානම්.

විජේසේකර මහතා:

රහස් පොලිස් පරීක්ෂණයට අමතරව මේ සම්බන්ධයෙන් වෝහාරික විගනණයකටත් කටයුතු කරගෙන යනවා.ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබුණ.