කඳුකර කොටියාගේ මරණයට හේතුව

0
Tiger Death Investigation - කඳුකර කොටියාගේ මරණයට හේතුව

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා.

එයට අනුව හැටන්, සමර්හිල් වතු යායේ තේ වත්තක දී මන්දකට හසු වී ගසක් මත සිරව සිටි කඳුකර කොටියා ජීවිතක්ෂයට පත්වීමට හේතුව අනාවරණය වී තිබෙනවා.

ඊට අනුව, කොටියා මරණයට පත් වී ඇත්තේ, කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිය හේතුවෙන්.

එමෙන්ම කොටියා ගසට යටවී නොමැති බවත් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව අදාළ කමිටු වාර්තාවේ සඳහන් වනවා.

කෙසේ වුවද කොටියා බේරාගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත්, මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය ‌බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බවත්, එහෙත් දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරීන් උත්සාහ දරා ඇති බවත් අදාළ නිලධාරින්ට තරයේ අවවාද කළ යුතු බවත් කමිටුව සඳහන් කර තිබෙනවා.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටිගහණය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් ද ඉදිරිපත් කර තිබෙනවා.