අද දැවැන්ත උද්ඝෝෂණයක්.. නව ආණ්ඩුවක් ගෙන එන බව වෘත්තිය සමිති කියයි…

0
Trade union protest - අද දැවැන්ත උද්ඝෝෂණයක්.. නව ආණ්ඩුවක් ගෙන එන බව වෘත්තිය සමිති කියයි...

බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන් අරගලයේ දෙවන අදියර ආරම්භ කර නව ආණ්ඩුවක් ගෙන ඒමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කියා සිටි.

එම සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල කියා සිටියේ මෙවර අරගලය ආරම්භ කරන්නේ මෙරට සියලුම වෘත්තීය සමිති බවය.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයකට තමන් කණ්ඩායම ඇද දැමීමට කටයුතු කරනවාද නැද්ද පිළිබඳව ඇමැතිවරයා සිතා බැලිය යුතු බවය.

අද [22 වැනිදා] බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් කුමන පණිවිඩයන් ඇමැතිවරයා නිකුත් කළද එය නතර නොකරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්ව්ට්ර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ [21 වැනිදා] සඳහන් කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව මින් පෙර අදාළ වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවද එහි සඳහන් වේ. මෙම සංගම් නියෝජිතයන්ගේ විරෝධය පළ කිරීමේ අයිතියට අභියෝගයක් නොකරන නමුත් මේ වන විට අදාළ ආයතනය සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස ගෙන ඇති තීරණයන්හි කිසිදු වෙනසක් නොවන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව කියා සිටින්නේ ජාතික සම්පත් කුණු කොල්ලයට කළු කඩ මුදලාලිලාට සහ වංචනික සමාගම්වලට විකිණීමේ කුමන්ත්‍රණයෙන් රට බේරාගැනීමට සියලුම ජනතාව පෙළගැස්වීමට කාලය උදාවි ඇති අතර ඇමැතිවරුන්ගේ හිතවත්කම් උදෙසා ජනතාවගේ ජිවිත බිල්ලට ලබාදීමට කටයුතු නොකරන බවය.

2002 වර්ෂයේ ද රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටින වකවානුවේ ඛනිජ තෙල් සංස්ථාව විකිණීමට උත්සහ ගත් අතර නැවත 2022 වර්ෂයේ ඔහු ජනාධිපතිව සිටින විටද එම උත්සහයම ගැනීමට වෙර දරන බව ඔහු කියා සිටියේය. වෘත්තීය සමිති තිබෙන තුරු එම උත්සහාය සාර්ථක වීමට ඉඩ ලබානොදෙන බවත් මර්දනයට බියෙන් නිහඬවන්නට තම සංගම් සුදානම් නොමැති බවත් හෙතම පවසා සිටියේය.