22 වගන්තියකට විරෝධය පා මන්ත්‍රීවරු 80කගෙන් ජනපතිට ලිපියක්

0
22nd Amendment - 22 වගන්තියකට විරෝධය පා මන්ත්‍රීවරු 80කගෙන් ජනපතිට ලිපියක්

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය නොකළහොත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසක් පෙත්සමක් අත්සන් කර ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.

මෙසේ පෙත්සම අස්සන් කරගෙන යන මන්ත්‍රිවරුන් කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද විපක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළත් වෙති.

මෙම මන්ත්‍රීවරුන් එම පෙත්සම අත්සන් කරමින් ඉල්ලා සිටින්නේ වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය වසර හතරහමාරක් දක්වා වෙනස් කළ යුතු බවයි.

මේ අතර විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට පැවරෙන බලය පිළිබඳ වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක්ද මේ වනවිට හටගෙන ඇත.

පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීම විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත්ව පැවතුණ වගන්තියකි.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

එම පනත් කෙටුම්පත නුදුරේදීම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.