ගෝඨාභයට ආරක්ෂිතව යළි දිවයිනට එන්න දෙන්නැයි පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

0
SLPP meeting with President - ගෝඨාභයට ආරක්ෂිතව යළි දිවයිනට එන්න දෙන්නැයි පොහොට්ටුව ජනපතිගෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු,පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් මහත්වරුන් සහභාගී වී තිබෙි.