ජනපති රනිල් වික්‍රමසිංහ ගැන දෙමළ පක්ෂ සතුටින්

0
Tamil parties happy about President - ජනපති රනිල් වික්‍රමසිංහ ගැන දෙමළ පක්ෂ සතුටින්

විදේශ සංවිධාන හයක හා පුද්ගලයන් හයසිය ගණනකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය, ඊ.පී.ඩී.පී. පක්‍ෂය ඇතුළු දෙමළ දේශපාලන පක්‍ෂ බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගය කරන බවයි.

මෙසේ තහනම ඉවත් කෙරුණු සංවිධාන හා පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිවිටෙක සනාත කොට නොතිබුණු බව පෙන්වා දුන් සුමන්තිරන් මහතා කිසිදු සොයා බැලීමකින් තොරව එම සංවිධාන හා පුද්ගලයන් මෙරට තහනම් ලැයිස්තුවලට ඇතුළත් කෙරුණු බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළා.

ඒ මහතා රජය වෙත අවධාරණය කරනු ලබන්නේ මෙම තහනම ඉවත් කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බවයි.

ඩයස්පෝරා සංවිධාන හයක මෙරට තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පුද කර සිටින බවත් එම තහනම ඉවත් කිරීම ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සුහදත්වයේ සලකුණක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටින බවත් ඊ.පී.ඩී.පී. නායක ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කිසිදු පැකිලීමකින් තොරව ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ සහයෝගය පළ කරන බව පැවසූ අමාත්‍යවරයා තම පක්‍ෂය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනා 10න් එකක් වූයේ මෙරට තහනම් කර ඇති ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් පිළිබඳ තහනම් ඉවත් කිරීම බව ද පැවසුවා.

ඩයස්පෝරා සංවිධාන හයක හා පුද්ගලයන් 316 දෙනෙකුගේ තහනම ඉවත් කිරීම යහපත් අවස්ථාවක් වශයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවත් ඔවුන් මේ රටේ ජීවත් වන තම ඥාතීන්ගේ ආර්ථිකය නගා සිටුවීමට ඉදිරිපත් විය යුතු බවත් අමාත්‍යවරයා පැවසුවා.

තව ද මේ රටේ තහනම් කරනු ලැබූ මුස්ලිම් සංවිධාන තිබෙන බව ද ඒ පිළිබඳව සොයා බලා සාධාරණ පියවර ගත යුතුව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.