පළාත් පාලන මැතිවරණය කල් දමන ගැසට් නිවේදනය ලබන සතියේ

0
Gazette notification postponing local government elections next week - පළාත් පාලන මැතිවරණය කල් දමන ගැසට් නිවේදනය ලබන සතියේ

පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය එළැඹෙන සතියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පළාත් පාලන මැතිවරණයට අදාළ විෂය පථයන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.

මැතිවරණය කල් දමන්නේ නම් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතු වන්නේ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විසිනුයි.

එහෙත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති අතර, දැනට ඔහු විදෙස්ගතව පසුවන නිසා, මැතිවරණය කල් දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඔහුට හැකියාවක් නොමැති බව සඳහන්.

ඒ අනුව රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉවත් කෙරෙන පළාත් පාලන විෂය පථය වෙනත් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට එක් කර පළමු ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු ඇති.

අනතුරුව එම අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එළැඹෙන මාර්තු මස 20 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර, වසරකින් කල් දැමුවහොත් එය 2023 වසරේ මාර්තු 20 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයි.

ඊට හේතුව පළාත් පාලන මැතිවරණයක් කල් දැමීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව පවතින්නේ වසරකින් පමණක් වීම හේතුවෙන්.

මේ අතර, ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික වැඩකටයුතු මේ වනවිටත් සකස් කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කළා.