රජයෙන් මේ මස සිට සහන මල්ලක්

0
A special relief package from the government from this month - රජයෙන් මේ මස සිට සහන මල්ලක්

කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී ඊයේ රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය.

ජනවාරී මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ට විශ‍්‍රාමිකයින්ට සහ ආබාධිත සෙබළුන්ට මාසිකව රුපියල් 5,000/-ක විශේෂ දීමනාවක් ලබාදෙන බවද අමාත්‍යවරයා කීවේය. සමෘද්ධීලාභීන්ට දැනට ලබාදෙන රුපියල් 3500/-ක මාසික දීමනාව රුපියල් 1000/-කින් ඉහළ නංවන අතර රුපියල් 3500/-ට වඩා අඩුවෙන් ලැබෙන සමෘද්ධී සහනාධාරයද සමානුපාතිකව වැඩිකරන බවද ඔහු පැවසීය.

පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සීයයට 20ත් 30ත් අතර ප‍්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එම පාඩුව පියවීම සඳහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25/-ක අමතර මිලක් ලබාදෙන බවද ඔහු කීය.

ඒ අනුව ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75/-ක සහතික මිලකට මිලදී ගන්නා අතර සහල් මිල ඉහළ යෑම වළක්වාලීම සඳහා අමතර මුදල් භාන්ඩාගාරය දරණ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීවේය.

දිවිනැඟුම වැඩපිළිවෙළ නැවත ක‍්‍රියාවට නැංවෙන අතර වගාකරන ගෙවතු සඳහා දිරිදීමනාවක් ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව පර්චස් 20ට අඩු ගෙවත්තකට රුපයිල් 5000/-ක් ලබාදෙන අතර පර්චස් 20ට වැඩි අක්කර 01ට අඩු ගෙවත්තකට රුපියල් 10,000/-ක දිරි දීමනාවක් ලබාදෙන බවද ඔහු කීය. වගාව සාර්ථක වු බව පෙන්නුම් කළහොත් එම දීමනාව නැවත ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව සෑම වතුකම්කර පවුලකටම මසකට තිරිඟු පිටි කිලෝ 15ක් කිලෝව රුපියල් 80/-ක සහන මිලකට ලබාදෙන බවද ඔහු පැවසී්ය.

සේවක අර්ථ සාදක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරු පවුලකටම එම තිරිඟු පිටි සහනය හිමිවන බවද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව ජනතාවට සහන සැළසෙන එම පැකේජය සඳහා වසරකට රුපියල් මිලියන 229ක් වැයවෙන බවද මුදල් ඇමතිවරයා කීවේය.

රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000/-ක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87ක් විශ‍්‍රාමිකයින් සඳහා රුපියල් බිලියන 40ක් ගෙවතු සහනාධාරය සඳහා රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් වැයවෙන බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

ජනතාවට සහන ලබාදීමට වැයවෙන මුදල් සොයාගැනීමට බදු ඉහළ නැංවීමක් නොවන අතර ඒ සඳහා වෙනත් ක‍්‍රම උපයෝගී කරගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.