ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමෙන් සිදු වූ හානිය මිලියන 205ක්

0
ranil house burning - ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබීමෙන් සිදු වූ හානිය මිලියන 205 ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරිහරණය කළ වාහනයට රුපියල් මිලියන 191ක අලාභයක් සිදුව ඇති බවයි.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට රුපියල් මිලියන 14 ක අලාභයක් සිදුවී ඇති බවත් ඇය දන්වා තිබෙනවා.

තවද මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙක් තුවාල ලබා ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකුගේ ඇඟිලි සලකුණු සහ අපරාධ වූ ස්ථානයේ තිබී හමුවී ඇති ඇඟිලි සලකුණු හා සසඳා වාර්තාවක් කැඳවීමට අවසර දෙන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඊට අමතරව සැකකරුවන් දෙදෙනෙකුගේ ජංගම දුරකථන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි.