වෛරසය ආපසු හරවන්න දින 21 ක් වත් සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යයි

0
Travel restrictions - සංචරණ සීමා පැනවීම

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා දින 21 ත්, 28 ත් අතර කාලයක් ආවරණය වන ආකාරයෙන් සංචරණ සීමා පැනවීමකට යා යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි පවසනවා.

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 2145 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර, ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 60,478 ක්.

එසේම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 1,635 දෙනෙකු අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා. ඒ සමඟ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 26,995 ක්.

මේ වනවිට රෝහල්ගතව ආසාදිතයින් 32,351 ක් ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ සංචරණ සීමා පැනවීම දින 21 ත්, 28 ත් අතර කාලයක් ආවරණය වන පරිදි සිදුකළ යුතු බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි ප්‍රකාශ කළා.

මේ අතර පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග ප්‍රමාණවත් රුධිර සංචිත පවත්වාගෙන යෑමේ ගැටලු‍වකට ජාතික රුධිර පාරවිලයන සේවය මුහුණ දී සිටින්නේ ජංගම රුධිර කඳවුරු නොපැවැත්වීම හේතුවෙන්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහරගම අපේක්ෂා රෝහලේ රුධිර අවශ්‍යතාව සපුරාලීම සඳහා ලේ දන් දීමේ වැඩසටහනක් කොළඹ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා.

මීට අමතරව සෑම දිනකම පෙරවරු 8 සිට පස්වරු 4 තෙක් දිවයින පුරා පිහිටි ලේ බැංකුවලදී රුධිරය පරිත්‍යාග කිරීමට ද අවස්ථාව සලසා දී ඇති අතර, දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ඒ සඳහා වේලාවක් වෙන් කර ගත හැකි වනවා. ජාතික රුධිර පාරවිලයන සේවය අවධාරණය කරන්නේ පවතින කොරෝනා තත්ත්වය තුළ ආරක්ෂිත ක්‍රමවේද උපරිම ලෙස පවත්වා ගැනීමට ලේ බැංකු කාර්යමණ්ඩලය කටයුතු කර ඇති බැවින් පරිත්‍යාගශීලීන් අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බවයි.