දයාසිරි කීවේ පක්ෂයේ මතය නොවන බව අලගියවන්න කියයි

0
Lasantha Alagiyawanna Statement about Dayasiri Dayaseka Speech - දයාසිරි කීවේ පක්ෂයේ මතය නොවන බව අලගියවන්න කියයි

තම පක්‍ෂයට ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතව කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය එතුමාගේ පෞද්ගලික අදහසක් මිස පක්‍ෂයේ මතය නොවේ යැයි එම පක්‍ෂ භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සෑම තීන්දුවක්ම ගන්නේ පක්‍ෂ නායකත්වය, මධ්‍යම කාරක සභාව ඇතුළු සියල්ලන් එක්ව බවත්, ජනතා විමුක්ති පෙරමුණ සමඟ සන්ධානගතවීමක් සම්බන්ධයෙන් මේ වන තුරු සාකච්ඡා කර නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ මොහොතේ පක්‍ෂය වැඩි අවධානයක් දී ඇත්තේ ජනතාවට පවතින ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සම්බන්ධයෙන් බව කී අලගියවන්න මහතා මෙය සන්ධානගතවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසු වේලාවක් නොවන බව ද කීවේය.

ලසන්ත අලගියවන්න මේ බව පැවසුවේ ගම්පහ, අත්තනගල්ලේදී ඊයේ (26) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රටේ ජනතාව මුහුණ පා ඇති ප්‍රශ්නවලින් ගලවා ගැනීම සඳහා හැකි සෑමවිටම කටයුතු කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කොරෝනා වසංගත සමයේදී ඇතිවූ රුධිර හිඟයට විසඳුමක් ලෙස රුධිර ඒකක 10,000කට වැඩි ප්‍රමාණයක් රුධිර බැංකුව වෙත පරිත්‍යාග කිරීම එවැනි එක් අවස්ථාවක් බව පැවසීය.