සුනාමි ව්‍යසනයට අදට වසර 17ක්

0
Today Marks Seventeen Years Since the Tsunami Disaster - සුනාමි ව්‍යසනයට අදට වසර 17ක්
වසර 2004දී සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර 17 ක් සපිරෙනවා.

එදින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9.0 ක් ලෙස සටහන්වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙනුයි මෙම ඛේදවාචකය හටගත්තේ.

එමගින් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, තායිලන්තය ඉන්දියාව ඇතුලූ රටවල් 14 කින් වාර්තාවූ පුද්ගල මරණ සංඛ්‍යාව දෙලක්ෂ 28 දහසකට ආසන්නයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තහවුරු කරගත් මරණ සංඛ්‍යාව 35 000 කට ආසන්නයි.

ඉන් දෙදහසකට ආසන්න පිරිසක් මියගියේ ලොව දරුණුතම දුම්රිය අනතුර ලෙස සැළකෙන පැරෑළිය තෙල්වත්ත දුම්රිය අනතුරෙනුයි.

2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සුනාමි ඇතුලු ආපදා හමුවේ මිය ගිය සියල්ලන් සිහිපත් කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව අද පෙරවරු 09.25 සිට 09.27 දක්වා විනාඩි 02 ක කාලයක් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙවර ජාතික ආරක්ෂක දින ප්‍රධාන උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජාවගේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්වලද සැමරුම් උත්සව සංවිධාන කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කලේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඒවා පැවැත්වෙනු ඇති.