කොරෝනා නිසා පුරුෂයින්ගේ සරුභාවයට බලපෑමක්

0
Corona Affects for Male Fertility - කොරෝනා නිසා පුරුෂයින්ගේ සරුභාවයට බලපෑමක්

කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමන බොහෝ අවස්ථාවලදී පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව අවස්ථා කිහිපයකදී කතාබහට ලක්විය.

කෙසේ වෙතත් කොව්ඩ් වසංගතය ඇරඹී වසර දෙකකට පසුව මේ පිළිබඳව සුවිශේෂී අනාවරණයක් පසුගියදා සිදුකළ පරීක්ෂණයකදී සිදුකර තිබේ.

එහිදී හෙළිවී ඇත්තේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවන බවය.

බෙල්ජියමේදී සිදුකළ විශේෂ පරීක්ෂණයකදී මේ බව අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම විශේෂ පරීක්ෂණය සඳහා කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පිරිමි පුද්ගලයන් 120ක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී කොවිඩ් ආසාදනයෙන් මසකට අඩු කාලයකින් පරීක්‍ෂා කළ විට පර්යේෂණයට සහභාගී වූවන්ගෙන් 60%කගේ ශුක්‍රාණුවල මධ්‍යන්‍ය චාලක හැකියාව අඩු වී තිබූ බව අනාවරණ වී තිබේ.

ආසාදනය වී මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට ශුක්‍රාණුවල චාලක හැකියාව අඩු පිරිමින්ගේ ප්‍රතිශතය 37%ක් වූ අතර, මාස දෙකකට පමණ පසු මෙම අගය 28%ක් ලෙස අනාවරණ වී ඇත.

එසේම මෙම පරීක්ෂණයේදී අනාවරණ වී ඇති තවත් සුවිශේෂී කරුණක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආසාදනයෙන් පසු පුරුෂයින්ගේ ශුක්‍ර තරලයේ අඩංගු ශුක්‍රාණු ගණත්වය පහළ බැසීමය.

කොවිඩ් ආසාදනය වී මසක් තුළ පරීක්‍ෂා කළ විට, පර්‍යේෂණයට සහභාගී වූ පිරිමින්ගෙන් 37%කගේ මධ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය පහළ බැස ඇතිබවද එහිදී අනාවරණ වී ඇත.

රෝගය ආසාදනයෙන් මාස එකේ සිට දෙක දක්වා කාලයක් තුළ පරීක්‍ෂා කළ විට පිරිමින්ගෙන් 29%ක් දෙනාගේ ශුක්‍රාණු ගණත්වය අඩුවී තිබූබව ද, මාස දෙකකට පසුව ද පිරිමින්ගෙන් 6%කගේ ශුක්‍රාණු ගණත්වය අඩුවූබව ද පර්යේෂකයින් විසින් අනාවරණය කෙරිණි.

කෙසේ වෙතත් පර්යේෂකයින් ඇස්තමේන්තුගත කරන්නේ මෙම ගැටලුව මාස තුනක් වැනි කාලයක් තුළ සාමාන්‍ය අතට හැරෙනු ඇතිබවටය.

එසේ වුවද කොරෝනා ආසාදනය වීමෙන් පසු පූර්ණකාලීනව සරු භාවය අහිමි වූ පිරිමි සිටිනවාද යන්න පිළිබඳව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කර තිබේ.