දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය ජැෆ්නා කිංග්ස්ට

0
Jaffna Kings Win Sri Lanka Premier League Trophy for Second Time - දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කුසලානය ජැෆ්නා කිංග්ස්ට

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වුණේ, ජැෆ්නා කිංග්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් දෙක අතරයි.

ඒ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී.

කාසිය වාසිය ජැෆ්නා කිංග්ස් පිල දිනාගත් අතර, ජැෆ්නා නායක තිසර පෙරේරා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ජැෆ්නා පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමේ අරමුණෙන් පිති අතට ගත් රහමනුල්ලා ගුර්බාස් හා අවිශ්ක ප්‍රනාන්දු, ගාලු පන්දු යවන්නන්ට පහර දුන්නේ, කිසිදු අනුකම්පාවකින් තොරව යි.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ රහමනුල්ලා ගුර්බාස්, වේගවත් ලකුණු 35ක් රැස් කළේ, පන්දු 18ක් පමණක් වැය කරමින්.

ඔහුගේ ඉනිම විශාල හයේ පහර තුනකින් හා අලංකාර හතරේ පහර තුනකින් අලංකාර වෙමින් පවතිද්දී සමිත් පටෙල් යොමු කළ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට දුන් උඩ පන්දුවක් නිසා නිමාවට පත් වුණා.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටිය තුළ ස්ථාවර වූ අවිශ්ක හා කෝලර් කැඩ්මෝර්, දෙවැනි කඩුල්ලට අගනා සම්බන්ධතාවක් ගොඩනැගුවා.

දෙවැනි කඩුල්ල ලෙස විශිෂ්ට පිතිකරණයක යෙදුණු අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 63ක් වෙද්දී.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 2ක් හා හතරේ පහරවල් 8ක් ඇතුළත් වුණා.

ටොම් කෝලර් කැඩ්මෝර් ද වටිනා ලකුණු 57ක් රැස් කළේ, ජැෆ්නා ඉනිම ශක්තිමත් කරමින්.

පන්දුවාර විස්ස අවසානයේ ජැෆ්නා පිල ලකුණු 201ක් රැස් කළේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් මුලින් ම පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක සමඟින් කුසල් මෙන්ඩිස්.

යාපනය පිලේ ආරම්භක පිතිකරණය ම අනුකරණය කළ ඔවුන් දෙදෙනා, ඉතා ම ප්‍රවේගකාරී ලෙස පන්දුවට පහර දුන්නේ, ආරම්භක සබඳතාව ලෙස ලකුණු පුවරුවේ ලකුණු 63ක් සටහන් කරමින්.

ධනුෂ්ක ගුනතිලක ඉතා ම වේගවත් හා ප්‍රවේගකාරී ලකුණු 54ක් රැස් කළා.

ධනුෂ්කගේ දැවී යෑමෙන් අනතුරු ව කණ්ඩායමේ යම් පසුබෑමක් දක්නට ලැබුණු ද ඉනිම කිසියම් ස්ථාවර මට්ටමකට රැගෙන ඒමට කුසල් මෙන්ඩිස්ට හැකි වුණා.

බෙන් ඩන්ක් හා මොහොමඩ් හෆීස් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යද්දී හුදකලා අන්තයක තනි වූ කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කර ගැනීමට සමත් වුණා.

වෙනත් කිසිදු ගාලු පිතිකරුවෙකුට සාර්ථක වීමට ඉඩ ලබා නො දුන් යාපනය පන්දු යවන්නන්, තම ප්‍රතිවාදී සියලු පිතිකරුවන්ට පන්දුවාර 20 අවසානයේ රැස්කර ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 178ක් පමණ යි.

ඒ අනුව 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 23කින්.