සැත්කමෙන් පසු ඇහැ පෙන්නේම නැතුව ගිහින්

0
Incident of Gone Blind After Surgery in Chilaw Private Hospital - සැත්කමෙන් පසු ඇහැ පෙන්නේම නැතුව ගිහින්

හලාවත නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක සාමාන්‍ය අක්ෂි සැත්කමක් සඳහා ඇතුළත් වූ හැත්තෑහත් හැවිරිදි පුද්ගලයකුට රෝහලේ දී සිදු වූ නොසැලකිලිමත්කමක් හේතුවෙන් ඇසක් බද්ධ කිරීමට සිදු වූ පුවතක් අනාවරණය වෙයි.

මර්වින් පෙරේරා නම් මෙම රෝගියා මීට සති හතරකට පෙර හලාවත නගරයේ පෞද්ගලික රෝහලකට සාමාන්‍ය අක්ෂි සැත්කමක් සඳහා ඇතුළත් වී තිබේ. ඉන් පසු කළ සැත්කමෙන් අනතුරුව සිය ඇස නොපෙනී යන තත්ත්වයට පත් වූ බව රෝගියා ප්‍රකාශ කරයි. ඒ බව රෝහලට දැනුම් දීමෙන් පසු සති තුනක කාලයක් ප්‍රතිකාර ලැබූවත් සුව නොවූ තැන සීදුව විජය කුමාරතුංග රෝහලට ඇතුළත් කර තිබේ. හලාවත පෞද්ගලික රෝහලේ බිල ලෙස රුපියල් පනස් අටදහසක්ද ගෙවා ඇත.

වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ප්‍රකාශ කළා විෂබීජයක් ඇතුළු වෙලා කියලා. දැන් මගේ ඇහැ ගොඩගන්න බැරි තත්ත්වයට පත් වෙලා. වෛද්‍යවරු කියන්නේ ඇසක් බද්ධ කළ යුතු බවයි. ඇසක් බද්ධ කරන්න ලක්ෂ දෙකක් විතර යයි යැයි රෝගියා වන මර්වින් පෙරේරා කියා සිටියේය. පෞද්ගලික රෝහලේ ශල්‍යාගාරයේදී විෂබීජයක් ඇතුළු වෙන්න ඇතැයි කියා වෛද්‍යවරු පවසන බවද ඔහු කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් නියාමන කොමිෂන් සභාවට මෙම සතියේ දී පැමිණිලි කිරීමට රෝගියාගේ ඥාතීහු සූදානමින් සිටිති. කෙසේ වෙතත් හලාවත පෞද්ගලික රෝහලේ හිමිකරුගෙන් ‘අරුණ’ කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි සිද්ධියක් සිදුව ඇති බවයි. වරද සිදු වූයේ ශල්‍යාගාරයෙන්ද, වෛද්‍යවරුන් අතින්ද යන්න පරීක්ෂණ පැවැත්වීමට ඊයේ (19 වැනිදා) ආරම්භ කළ බව ඔහු පැවසුවේය.