සිරිපා වන්දනා සමය ඇරඹේ.. සෞඛ්‍ය අංශවලින් යළි මතක්කිරීමක්…

0
Siripa Pilgrimage Season Begins - සිරිපා වන්දනා සමය ඇරඹේ.. සෞඛ්‍ය අංශවලින් යළි මතක්කිරීමක්...

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයට අනුව උඳුවප් පුර පසළොස්වක පෙහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව මෙරට වැඩම කර ඇත්තේ ද අද වැනි පෙහොය දිනකය.

මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනයේ සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

සිරිපා වන්දනා සමය

මේ අතර 2021 – 2022 සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වේ.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

අද අලුයම ශ්‍රීපාද පද්මයේදී දීපා ලෝක පූජාව පවත්වා පුද සිරිත් පවත්වා ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කළ බව වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මධින්න හිමි සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ලෙසය.

මෙහිදී ශ්‍රිපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මධින්න හිමි අනුශාසනාවක් ද සිදුකළේය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් නව රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය අද සිට 2022 වසරේ මැයි මස 16 වනදා දක්වා පැවැත්විමට නියමිතය.

අදාළ ගැසට් නිවේදනය මගින් ශ්‍රීපාද වන්දනාවේ නිරත වන බැතිමතුන් සඳහා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ද සඳහන් කර තිබේ.

ඒ අනුව බැතිමතුන් කොවිඩ් මර්දන එන්නත්කරණය සිදුකළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ළඟ තබාගත යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැලදීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ නිරත විය යුතු වේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාමාන කිරීමෙන් අනතුරුව පිටවයා යුතු බව ගැසට් නිවේදනයෙන් සඳහන් කර ඇත.

මීට අමතර වෙළෙදාම් සහ දන්සැල් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සිදුකළ යුතු අතර සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේදී සංචාරක වෙළෙදාම් තහනම් කර තිබේ.

දිස්ත්‍රික් ලේකම්වරිය හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර ලබාදී ඇති ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු බව සඳහන් වේ.

මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යයක් ගමන් මාර්ගවල රැගෙන යාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනිම, අලෙවි කිරීම , මිලදීගැනීම හෝ භාවිත කිරීම ද තහනම් කර තිබේ.

මේ අතර ආහාරපාන දන්සැල් ලබාදිමට අවසර හිමි නොවන අතර අත්‍යවශ්‍යම යම් අයෙකු සිටීනම් මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන මාර්ගවල ආරම්භක ස්ථානවල පැවැත්විය හැකි බව සඳහන් වේ.

කෙසේවෙතත් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරියගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරය ලබා ගත යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.