විමල්ලා ආණ්ඩුවෙන් ඉවත් වූවහොත් විශාල පිරිසක් ඔවුන් සමඟ ඉවත් වෙයි

0
Jagath Kumara Statement of Goverment and PM - විමල්ලා ආණ්ඩුවෙන් ඉවත් වූවහොත් විශාල පිරිසක් ඔවුන් සමඟ ඉවත් වෙයි

රටේ අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු ද නැද්ද යන්න පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ධුරයට හෝ ජනාධිපති ධූරයට පත්වීමට සිය පක්ෂය තුළ සුදුසුකම් ඇති තවත් නායකයින් කිහිප පොළක් සිටින නමුත් එම පුද්ගලයන්ගේ නම් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වූවොත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයිද පවසන මන්ත‍්‍රීවරයා ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවත් කියා සිටී.

වර්තමාන ආණ්ඩුව විනාශ කිරීමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව ද ඇතැම් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරුන් ගේ පමණක් නොව ජනාධිපති වරයාගේ ද අණ නොතකමින් ආණ්ඩුවේ ක්‍රියාදාමය අඩපණ කරමින් රට බංකොලොත් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක නිරත වන බවටද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් තමා පුද්ගලිකව විරුද්ධ නමුත් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට අවාසි සහගත බවත් ඔහු සදහන් කලේය.

බිම් මට්ටමේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවීම හේතුවෙන් ඉදිරියේ දී ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ට ජනතාව ගල් ගසනු ඇති බව ද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදීය.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)