ඔමික්‍රොන් ප්‍රභේදය ගැන අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතුයි

0
WHO Warning about Omicron Covid Variant - ඔමික්‍රොන් ප්‍රභේදය ගැන අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතුයි

ලොව පුරා සීඝ්‍ර ලෙස පැතිර යන ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳව අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ, ඔමික්‍රොන් ආසාදනය වීමෙන් සුළු රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ ද ඇතිවිය හැකි අවදානම පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවයි.

ලොව රටවල් 77 ක් පුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් ඉදිරි දින කිහිපය තුළ වාර්තා ගත ලෙස ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරමින් එංගලන්ත විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ඇත්තේ, මෙම නව කොවිඩ් ප්‍රභේදය පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව 70 ගුණයක වේගවත් බවක් පෙන්නුම් කරන බවයි.

මෙවැනි ඉතා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කිරීම තුළ ඔමික්‍රොන් ආසාදිතයින් රෝහල් ගතවීම ඉදිරියේදී සීඝ්‍ර ලෙස වැඩිවීමත් සමඟ රෝහල් පද්ධති අඩාල වීමේ අවදානමක් ද පවතින බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර, ඔමික්‍රොන් ප්‍රභේදය එන්නත්වලට ප්‍රතිරෝධී බවක් පෙන්නුම් කළ හැකි බවට විද්‍යාඥයින් තවදුරටත් මත පළ කිරීම හේතුවෙන් ඒ වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබෙනවා.

මේ අතර, දෙවැනි එන්නත් මාත්‍රාව ද ලබාගෙන මාස 03 කට පසු ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව මිනිස් සිරුර තුළ ගොඩනැගෙන ආරක්‍ෂාව විශාල වශයෙන් අහිමි වන බව එංගලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ද දැනුම්දී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව එන්නත්වලින් මාස 06 ක පමණ කාලයක් නිසි ආරක්‍ෂාවක් ලැබුණ ද ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව එන්නත්වලින් ලැබෙන ආරක්‍ෂාව මාස 03 ක් තරම් අඩු කාලයකට සීමාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ජනතාව වෙත තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩපිළිවෙල වඩාත් කාර්යක්‍ෂම කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි, සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ.