ෆේස්බුක් එකේ මට බනින අය අසාර්ථක මිනිස්සු.. ඔවුන් මෙලෝ දෙයක් කරලා නෑ…

0
Nalaka Godahewa Statement of Economy Crisis - ෆේස්බුක් එකේ මට බනින අය අසාර්ථක මිනිස්සු.. ඔවුන් මෙලෝ දෙයක් කරලා නෑ...

“ගමනක් ඉස්සරහට යන්න නම් ප‍්‍රතිපත්තිය තේරුම් නොගත් අයල කකුලෙන් අදින අය හා වැඩ නොකරන අය ඉවත් කරන්න ඕනේ.” යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දීප ව්‍යාප්තව සිදු කරනිදැයක් නගන – සියක් නගර’ සංවර්ධන වැඩසටහන යටතේ වැඩ නිමකළ මහගම සේකර උද්‍යානය ආශ‍්‍රිත රදාවාන තුං මං හන්දිය නගර සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “මම අද උදේ කල්පනා කළා මේ රටේ තිබෙන අර්බුදයට හේතුව මොකද්ද එයට තිබෙන විසඳුම මොකද්ද කියලා. මොකද අපි දන්නවා මේ වෙලාවේ අපේ රටේ යම්කිසි ගැටළු වගයක් තිබෙනවා. මිනිස්සුන්ට හුඟක් ආර්ථික අහේනියත් සමග දුෂ්කරතාවයන් තිබෙනවා. නැහැ කියලා කිව්වොත් ඒක යාතාර්ථයක් නෙමෙයි. හැබැයි ප‍්‍රශ්න ගැන කතා කරන කොට , සමහර කාලවල ආර්ථික ප‍්‍රශ්න, ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න, පහසුකම් පිළිබඳ ප‍්‍රශ්න, ස්වභාවික ගැටළු, ත‍්‍රස්තවාදය හැමදාම ප‍්‍රශ්න තිබූණු රටක්.

ඉතින් 1948 නිදහස ලබලා අවුරුදු 73 ක් ගත වෙච්ච මොහොතෙත් තවමත් ඇයි අපි මේ අරගල කරන දුෂ්කරතා මැද්දේ කල්ගෙවන රටක් වෙලා තියෙන කාරණාව කල්පනා කරන කොට මට ඔලූවට ආපු එක් ප‍්‍රධාන හේතුවක් තමයි අපේ රටේ සංස්කෘතිය. අපේ රටේ ඉන්නේ වැඩි දෙනෙක් අනුන්ට උපදෙස් දෙන්න දක්ෂ කට්ටිය. අනුන්ව විවේචනය කරන්න දක්ෂ කට්ටිය. හැබැයි වැඩ කරන්න දක්ෂ කට්ටිය නෙමෙයි.

තමුන්නාන්සේලා බලන්න උදේ පත්තර කියවීමේ වැඩසටහනෙන් පටන් ගත්තහම හවස ප‍්‍රවෘත්ති ඉවර වෙනකම්ම හැමෝම රට යන විදිහ ගැන විවේචනය කරනවා. පත්තරවල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ දැන් අලූත්ම දේ සමාජ ජාල මධ්‍ය තුළත් උදේ සිට රෑ වෙනකම් විවේචනය සහ අනෙක් අය වැඩකරණ විදිහ ගැන උපදෙස් දීම තමයි තියෙන්නේ. මම මේ කතා කරන කතාව කවුරු හරි කපලා ෆේස්බුක් දැම්මොත් ඒක යටින් කමෙන්ට්ස් වැඩි හරියක් ඇත්තේ මට බැනලා එහෙම නැත්නම් මට උපදෙස් දීලා.

හැබැයි ඒ උපදෙස් දෙන අය ගිහින් බලන්න ඒ අය කරන්නේ මොකද්ද කියලා. ඒ අය රැකියා කරන තැන සාර්ථක අයද? එහෙම නැත්නම් රටට වැඩක් කරලා තියෙන මිනිස්සුද? මෙලෝ දෙයක් කරලා නැහැ. උපදෙස් දීම පමණයි. අපේ රටට වෙලා තිබෙන ප‍්‍රශ්නේ මේක තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කතා කරනවා මිස වැඩ කරන්නේ නැහැ. ඒ ප‍්‍රශ්නය අපට වර්තමාන ආණ්ඩුව තුළත් තිබෙනවා. මීට කලින් තිබූ ආණ්ඩුතුළත් තිබුණා. ඇත්ත වශයෙන්ම ආණ්ඩු පෙරළුනා මේ රටේ. විවිධ ආණ්ඩු විවිධ ප‍්‍රතිපත්ති ගෙනාවා. අපි හරියට අධ්‍යනය කරලා බැලූවොත් පක්ෂ විපක්ෂ හැම ආණ්ඩුවේම යම්තාක් දුරකට හෝ හොඳ ප‍්‍රතිපත්ති තිබුණා. කිසිම ආණ්ඩුවක් නරකක් කරන්න බලාගෙන බලයට එන්නේ නැහැනේ. හැම ආණ්ඩුවක්ම බලයට එන්නේ මොකක් හරි යහපතක් රටට කරන්න හිතාගෙන. හැබැයි ක‍්‍රියාවට නංවන්න ගියහම තමයි ප‍්‍රශ්න එන්නේ. මොකද කි‍්‍රයාවට නංවන්න තෝරාගන්න කණ්ඩායම ඒක කරනවාද කියන ගැටළුව තමයි අපට එන්නේ. අපේ ජනාධිපතිතුමාටත් අද තිබෙන ගැටළුව ඒකයි කියලා මම හිතනවා.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය කාලේ බොහොම මහන්සි වෙලා මේ රටේ බොහෝ දෙනෙක් සමග සාකච්ඡා කරලා එතුමාට උපදෙස් දෙන අපේ අග‍්‍රාමාත්‍යතුමත්, ඒ වගේම අපේ දේශපාලන අධිකාරියත් සමග සාකච්ඡා කරලා සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අවසාන කෙටුම්පත් කරපු කණ්ඩායමේ මමත් ප‍්‍රධාන වගකීමක් ඉටු කළා. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මේ රටේ සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු සපයන දීර්ඝ කාලීනව රට නංවන හොඳ වැඩපිළිවෙලක්. හැබැයි ඒක කි‍්‍රයාත්මක කරන්න ගියහම, එය කි‍්‍රයාත්මක කරන්නේ සෞභාග්‍යයේ දැක්ම හරියට කියවපු අයද? ඒක හරියට තේරුම්ගත්ත අයද? සෞභාග්‍යයේ දැක්ම විශ්වාස කරන අයද කියන ගැටළුව මට තිබෙනවා. ඒක තමයි අද අපේ රටේ තිබෙන ප‍්‍රශ්නය. ජනාධිපතිතුමා පිටරට යන්න පෙර මා සමග කතා කළා. එතුමාගේ දැක්ම වෙනස් වෙලා නැහැ. එදා කියපු දේවල්ම තමයි අදත් කියන්නේ. එතුමා කියන්නේ අධ්‍යාපනය, කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රය, අපනයන ක්‍ෂෙත‍්‍රයන් නංවන්න ඕනේ. මේ රටට තාක්ෂණය ගේන්න ඕනේ, මේ රටේ පුනර්ජීවන බලශක්ති ක්‍ෂෙත‍්‍රය නංවන්න ඕනේ කියන සංකල්පවල කිසිම වෙනසක් වෙලා නැහැ. හැබැයි කි‍්‍රයාවට නංවන්න ගියහම එය භාරදුන්න අය, භාරගත්ත අය ඒ වගකීම හරියට ඉටු කරනවාද කියන කාරණය ගැන ගැටළු තිබෙනවා.

මම පුද්ගලිකව සතුටු වෙනවා මට භාර දුන්න නම් ආර්ථිකය සම්බන්ධ වගකීමක්. මොකද මම ආර්ථිකය සම්බන්ධ විශේෂඥයෙක්. මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ ආර්ථිකය සම්බන්ධව. විපක්ෂයේ සිටින කාලයේ විශේෂයෙන්ම ආර්ථිකය ගැන සැලසුම් හදපු කෙනෙක් තමයි මම. නමුත් කුමක් හෝ හේතුවක් නිසා මට ආර්ථිකය සම්බන්ධ වගකීමක් නොලැබුණ නිසා ඒ සම්බන්ධයෙන් වැඩි යමක් කරන්න ලැබුනේ නැහැ පසුගිය වසර දෙකේ. මට භාර දුන්නේ මහින්ද රජපක්ෂ මැතිතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් නාගරික සංවර්ධනය. එම ක්‍ෂෙත‍්‍රය මම පහුගිය කාලේ කතාකරපු ක්‍ෂෙත‍්‍රයක් නෙමෙයි. මම කතා කළේ ආර්ථිකය ගැන. හැබැයි භාර දුන්නට පස්සෙ මම මේ අවුරුදු එකහමාර තුළ මගේ වගකීම උපරිම මට්ටමින් ඉටු කළා. මම හිතනවා අනෙක් අයත් මම කරපු විදිහට තම තමන්ගේ වගකීම ඉටු කළා නම් ඒ ටික එකතු වෙලා සෑහෙන වැඩක් මේ රටට කෙරෙන්න තිබුණා කියලා.

සමහරවෙලාවට මේ රජයේ ඉහළම තනතුරු දරපු නිලධාරීන්, අවුරුදු ගාණක් තිස්සේ වැඩකරලා තිබිච්ච අය මේ රජයෙත් ඉහළ තනතුරුවලට ආවා. අපිත් කළබල උනා ඇයි මේ අයව මේ තනතුරුවලට දාන්නේ කියලා අපිත් පුද්ගලිකව ප‍්‍රශ්න කළා. ඒ සමහර වැරදි තීන්දුවලට අඩුපාඩු අද අපට පේනවා විශේෂයෙන්ම ආර්ථිකය දිහා බැලූවහම. අපි විශ්වාස කරනවා ඒ තැන් වෙනස් වෙලා ඒවට සුදුසු කර්යක්ෂම පුද්ගලයෝ දාලා මේ යන ගමන අපි ඉදිරියට යාවි කියලා.

අපි මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා කියලා මෙතෙක් කල් ආණ්ඩු කරපු අය, අවුරුදු 5 ක් ආණ්ඩු කරපු අය දිහා බලලා වැඩක් නැහැ. යහපාලන ආණ්ඩුව, අද විපක්ෂයේ ඉන්න අය ඒ අය තමයි අද මේ තිබෙන අර්බුදයේ ප‍්‍රධාන වගකීම ගන්නට ඕනේ. මොකද 2015 ඒ අය බලයට එනකොට අපේ රට වේගයෙන් සංවර්ධනය වෙමින් තිබුණු රටක්. අපේ රටේ ආර්ථික සංවර්ධන වේගය ඒ වෙලාවේ දෙවෙනි උනේ චීනයට විතරයි. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය වශයෙන් සම්මාන පවා ලබලා තිබුණා. මම ඒ වෙලාවේ නියාමනය කරපු කොටස් වෙළෙඳපළ ආසියාවේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන කොටස් වෙළෙඳපල කියලා සම්මානයක් ලබලා තිබුණා. හැම පැත්තෙන්ම බැලූ බැලූ අත වැඩබිමක්ව තිබූ රට අවුරුදු 5 ක් තුළ මුඩු බිමක් කළා. 7% කට තිබිච්ඡ ආර්ථික සංවර්ධන වේගය 3.1% කට පල්ලෙහාට දැම්මා. ඒ අවුරුදු පහ තුළ රටේ රැකියා හාරලක්ෂ හැත්තෑ දහසක් නැති කළා. මොනම කොරෝනා වසංගතයක්වත් නැතිව. පාරවල්, වැව් අමුණු, පාලම් හැදුන් නැහැ. ඒ අය මේ රටේ ආර්ථිකය හසුරුවන්නේ කොහොමද කියලා අද අපට වැදිබණ කියනවා. අපිට වෙලා තියෙන්නේ ඒ අය කඩා දමපු ආර්ථිකය තුළ අපට වැදුණු කොරෝනා බෝම්බය. මේ ප‍්‍රශ්නවලින් ගොඩ එන්න අපි උත්සාහ කරමින් ඉන්න කොට ඒකට විසඳුම අපි එතනට දාපු අය ගේන එක නෙමෙයි.

මේ රටේ ත‍්‍රස්තවාදය 2009 දී මහින්ද රාජපක්ෂ මහත්මයා සම්පූර්ණයෙන් තුරන් කරලා තිබුණේ. පහුගිය අවුරුදු පහ ඉවර වෙනකොට ඒකට මොකද කළේ. ත‍්‍රස්තවාදය නැවත ගෙනආව මේ රටට. නැගෙනහිර පළාතේ සයින්දමරුදු වගේ ප‍්‍රදේශවලට සිංහල මිනිහෙකුට අඩිය තියන්න බැරි තත්වයක් ඇතිවුණා. සම්පූර්ණයෙන් සුළු ජාතීන් මේ රට පාලනය කරන තත්වයකට ගෙනආවා. සුළු ජාතික දේශපාලනඥයින්ගේ අවශ්‍යතා අනුව තමයි රටේ පනත් සම්මත උනේ, පාර්ලිමේන්තුව, රජය කි‍්‍රයාත්මක උනේ. අපේ ජාතිය නිහීන, නිවට ජාතියක් බවට පත් කළා. විදේශිකයෝ හමුවේ දණ නැමුවා, හතරගාතේ දාලා වැටුණා. අන්තිමට මේ රටේ ජාතික ආරක්ෂාව නැතිවෙලා, බුද්ධි අංශ දුර්වල කරලා පාස්කු ප‍්‍රහාරය අපේ දොරකඩටම ඇවිල්ලා අපට මේ වගේ රැස්වීමක්වත් තියන්න බැරි තත්වයක් ඇති කළා. කොයි වෙලේ කොතනදි බෝම්බයක් යයිද දන්නේ නැතිව. ඒ අයටද අපි නැවත බලය භාර දෙන්න කතා කරන්නේ. ඒක කරන්න බැහැ. අපි කරන්න ඕනේ නිවැරදි දැක්මක් තිබෙන නායකයෝ පිරිසක් අපිට ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, හොඳ නායකත්වයන්. ඒ අය අපට හොඳ දැක්මක් දීලා තිබෙනවා. ඒ දැක්ම කි‍්‍රයාත්මක කරන්න පුළුවන් හරි පිරිස දැන්වත් හරියට තෝරාගෙන මේ ගමන අපි ඉදිරියට යන්නට ඕනේ. එහෙම ගියොත් අපට මේ ජනතාවට පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු කරන්න ප‍්‍රමාද නැහැ”. යැයි පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක මහතා, දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති නීතීඥ පියසේන කාරියප්පෙරුම මහතා ඇතුළු මන්ත‍්‍රී මණ්ඩලය, දොම්පේ ප‍්‍රාදේශීය ලේකම් නිශ්ශංක ආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, මහගම සේකර විද්‍යාලයේ විදුහල්පති මේජර් සනත් මුදුන්කොටුව මහතා ඇතුළු ප‍්‍රදේශවාසීන් සහ සියනෑ කතිකා කි‍්‍රයාකාරීන් රැසක් එක්ව සිටියහ.

(lankacnews.lk වෙබ් අඩවිය ඇසුරිනි)